brand logo
logo
 නාමල් රඳවා සිටින බන්ධනාගාර වාට්ටුව ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

නාමල් රඳවා සිටින බන්ධනාගාර වාට්ටුව ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

07 September 2026


නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා රඳවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර වාට්ටුව ආශ්‍රීතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේය.


ඔහු වැඩිදුරටත් පැවසුවේ මන්ත්‍රීවරයාගේ පාර්ශ්වයෙන් ලද ඉල්ලීමකට අනුව මන්ත්‍රීවරයාට තුන් වේලම නිවසින් ආහාර ලබාගැනීමට අවසර ලබාදී ඇති බවයි.


එමෙන්ම දිනකට ඔහු බැලීමට පවුලේ ඥාතීන් තිදෙනෙකුට අවසර දී ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


බන්ධනාගාරගත මන්ත්‍රීවරයාගේ සුවදුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු ජනාධිපති ආර්යා ශිරන්ත රාජපක්ෂ මහත්මියද අද (07) කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත පැමිණියේය.


මේ අතර දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බැලීමට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණියේය.


එලෙසම දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිදුකළ ඉල්ලීමකට අනුව ඔහුට හෙටින් ආරම්භවන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගීවිමට අවසර ලබාදී තිබේ.‍


ප්‍රශ්නගත එයාර්බස් නඩුවේදී රුපියල් මිලියන 100ක අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනුණි.


අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සැප්තැම්බර් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.


 

 

More News..