අවසන් හුස්ම හෙළන මොහොතේ පවා තම සගයාගේ ජීවිතය ගැන සිතූ බන්ධ පොලිස් සැරයන් රොෂාන් සංජීව
10 July 2026 | •මනෝජ් එදිරිසිංහ-ගම්පහ
අවසන් හුස්ම හෙළන මොහොතේ පවා තම සගයාගේ ජීවිතය ගැන සිතූ බන්ධ පොලිස් සැරයන් රොෂාන් සංජීව
10 July 2026 | •මනෝජ් එදිරිසිංහ-ගම්පහ
"සිරකරුවෝද මනුෂ්‍යයෝය" යන්න ශ්‍රී ලංකාවේ සෑම බන්ධනාගාර තාප්පයකම පාහේ විශාල අකුරෙන් ලියා ඇති නිතර දකින ප්‍රසිද්ධ පාඨයකි. වරදක් කර නීතියේ රැහැනට හසුවන ඕනෑම පුද්ගලයකුට වැරදි හදාගෙන නැවත සමාජගත වීමට ඇති අයිතිය වෙනුවෙන් එම සංකල්පය පෙනී සිටියි. නමුත්, ඒ නීතිය සුරකිමින්, දරුණු ගණයේ අපරාධකරුවන් පාලනය කරමින්, තමන්ගේ මුළු ජීවිතයම අන්තරායකර සේවා වටපිටාවක පරදුවට තබන බන්ධනාගාර නිලධාරීන් මනුෂ්‍යයන් නොවේද? අසරණ පියවරුන්, ආදරණීය සැමියන්, මෙන්ම තම මව්පියන්ගේ එකම ජීවන අපේක්ෂාවන් වූ ඒ නිලධාරීන්ගේ ලේ, මස්, නහරවලට සංවේදනයක්, රිදීමයක් නැත්ද?
මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ අමානුෂික සහ අතිශය ම්ලේච්ඡ රැඳවි ප්‍රහාරයෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර බුද්ධි අංශ සැරයන් රොෂාන් සංජීවගේ හදිසි නික්මයාම, සමස්ත රටම අතිශය ශෝකජනක සහ කම්පනකාරී සංවේගයක ගිල්වා තබන්නේ මෙම තිත්ත ඇත්ත සමාජය හමුවේ නැවත නැවතත් ප්‍රශ්න කරමිනි.
1981 වසරේදී මෙලොව එළිය දුටු රොෂාන් සංජීව මියයන විට 45 වැනි වියෙහි පසුවූ අත්දැකීම් බහුල, පරිණත රාජ්‍ය නිලධාරියෙකි. මීරිගම, මුගුරුගම්පොළ, දියගැල්ම, අංක 229/B ලිපිනයේ පදිංචිව සිටි ඔහු තම අදරණීය මව්පියන්ගේ එකම දරුවා විය. පවුලේ එකම දරුවා වූ බැවින් ඔහු කෙරෙහි දෙමාපියන් තුළ තිබුණේ අප්‍රමාණ සෙනෙහසකි.
කුඩා කල සිටම අතිශය කීකරුව, නිහතමානීව මෙන්ම සහජ දක්ෂතාවලින් පිරිපුන්ව හැදී වැඩුණු රොෂාන්, තම ප්‍රථම මූලික අධ්‍යාපන පියවර තැබුවේ මීරිගම ඩඩ්ලි සේනානායක විද්‍යාලයෙනි. එකේ ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා මීරිගම ඩඩ්ලි සේනානායක විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු, පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබාගනිමින් සමත් විය.
ශිෂ්‍යත්ව ජයග්‍රහණයත් සමගම ඔහුට කොළඹ ප්‍රමුඛ පෙළේ පාසලක් වන කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වීමේ වරම් හිමි විය. නාලන්දා විද්‍යාලයට ඇතුළත් වූ රොෂාන්, පාසල් පරිසරය තුළ කැපී පෙනෙන දක්ෂ සිසුවකු විය. අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඔහු ඒ (A) සාමාර්ථ 8ක් සහ බී (B) සාමාර්ථ 1ක් සහිතව අතිවිශිෂ්ට ලෙස සාමාන්‍ය පෙළ සමත් වූයේ මුළු පාසලටම මෙන්ම ගම්පියසටද අභිමානයක් එක් කරමිනි.
ඉන්පසුව නාලන්දා විද්‍යාලයෙන්ම උසස් පෙළ හැදෑරූ ඔහු, ප්‍රථම වතාවේදී උසස් පෙළ විභාගයට මුහුණ දුන්නද විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සඳහා ප්‍රමාණවත් තරම් ඉහළ ලකුණු ලබාගැනීමට නොහැකි විය. නමුත් අධෛර්යමත් නොවූ ඔහු දෙවැනි වරටත් උසස් පෙළ විභාගයට සූදානම් විය. එහෙත් රට වෙනුවෙන් යමක් කිරීමේ දැඩි ආශාව සහ හමුදා නිල ඇඳුමට තිබූ ආකර්ෂණය නිසාම, දෙවැනි වර විභාගයට පෙනී සිටීමට නියමිතව තිබියදී දෙමාපියන්ට පවා නොකියා ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳීම සඳහා අයදුම්පතක් යොමු කළේය. විභාගයට පෙනී සිටියේද එක විෂයකට පමණි. ඒ වන විටත් ඔහු ගුවන් හමුදා සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා තිබූ අතර, ඉන් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වීමට ඔහුට හැකි විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වූ රොෂාන් සංජීව අතිශය කැපවීමෙන් සහ විනයගරුකව වසර 10ක පමණ කාලයක් ගුවන් හමුදාවේ අභිමානවත් සේවයක නිරත විය. තරුණ වියේ වැඩි කාලයක් රටේ ආරක්ෂාව වෙනුවෙන් කැප කළ ඔහු, පසුව සිය බාප්පාගේ දැඩි ඇවටිලි කිරීම් සහ ඉල්ලීම් මත ගුවන් හමුදා සේවයෙන් නීත්‍යනුකූලව ඉවත් විය.
ගුවන් හමුදාවෙන් ඉවත් වීමෙන් පසු කෙටිකාලයක් පුද්ගලික ආයතනයක රැකියාවක් කළද, නීතිය සහ සාමය සුරැකීමේ සන්නද්ධ නිල ඇඳුම් සේවයට පැවැති දැඩි ලැදියාව නිසාම ඔහු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තනතුරු සඳහා අයැදුම් කළේය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට තේරී පත් වූ සංජීවට මූලික පුහුණුව හිමි වූයේ මහනුවරදීය.
අතිශය දුෂ්කර සහ විධිමත් පුහුණුව සාර්ථකව නිම කළ ඔහු, තම සහජ දක්ෂතා සහ බුද්ධිමත් බව හේතුවෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සුවිශේෂී ඒකකයක් වන බන්ධනාගාර බුද්ධි අංශය හෙවත් ව්‍යවහාරිකව "බන්ධ පොලිස්" ලෙස හඳුන්වන විශේෂ බළකායට තේරී පත් විය.
"බන්ධ පොලිස්" යනු බන්ධනාගාර අභ්‍යන්තරයේ සිදුවන කැරලි, ගැටුම්, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන ජාවාරම් පාලනය කිරීම මෙන්ම අභ්‍යන්තර බුද්ධි තොරතුරු රැස්කිරීම සඳහාම විශේෂයෙන් පුහුණු කරන ලද උපක්‍රමික බලකායකි. බුද්ධි අංශ නිලධාරියකු ලෙස පත්වීම ලැබූ රොෂාන් සංජීවට පළමු සේවා ස්ථානය ලෙස හිමි වූයේ කොළඹ වැලිකඩ බන්ධනාගාරයයි. එදා සිට සිය අවාසනාවන්ත සමුගැනීම සිදු වූ මොහොත දක්වාම ඔහු නොපසුබස්නා උත්සාහයෙන් රාජකාරිය අකුරටම ඉටු කරමින් සේවය කළේ වැලිකඩ බන්ධනාගාරය මූලස්ථානය කරගනිමිනි.
වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගන්නා අතරතුරම රොෂාන් සංජීව විවාහ දිවියට ඇතුළත් වූයේ තිළිණි රාජපක්ෂ සමඟිනි. තිළිණි ද රාජ්‍ය සේවයේ නිරතවන තැනැත්තියක වන අතර ඇය මීගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක ලෙස ජනතාවට සේවය කරන්නීය. ඔවුන්ගේ ආදරණීය කැදැල්ලේ පිරිමි දරුවන් දෙදෙනෙක් සිටිති. වැඩිමල් පුතුට මේ වන විට වයස අවුරුදු 15ක් වන අතර, දෙවැනි පුතුගේ වයස අවුරුදු 12කි.
තමන් රජයේ අතිශය අන්තරායකර බුද්ධි රාජකාරියක නිරත වුවද, නිවසට පැමිණි පසු ඔහු අතිශය ආදරණීය සැමියකු සහ පියකු විය. තමන් විඳි සියලු දුක් ගැහැට දරුවන්ට දැනෙන්නට නොදී, ඔවුන්ට යහපත් අනාගතයක් තනාදීම සංජීවගේ එකම අභිලාෂය විය. නමුත් ඒ සියලු සිහින සහ අපේක්ෂාවන් මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ඒ ම්ලේච්ඡ සිදුවීමත් සමග එක ක්ෂණයකින් පොළවට පස් වී ගියේය.
සිද්ධිය සිදු වූ සතියේ ඉරිදා දින මීගමුව බන්ධනාගාරය තුළ අභ්‍යන්තරයේ රැඳවියන් දෙපිරිසක් අතර බරපතළ ගැටුමක් හටගෙන තිබුණි. එදින එම තත්ත්වය යම්තාක් දුරකට පාලනය කිරීමට ප්‍රදේශයේ නිලධාරීන් සමත් වුවද, තත්ත්වය අළු යට ගින්දර මෙන් පැවැතිණි. නැවතත් සඳුදා උදෑසන රැඳවියන් සඳහා උදෑසන ආහාර වේල ලබාදෙන අවස්ථාවේදී මෙම ගැටුම අතිශය උග්‍ර වී, විශාල නොසන්සුන්කාරී තත්ත්වයක් බවට පත් විය.
තත්ත්වයේ බරපතළකම වටහාගත් බන්ධනාගාර මූලස්ථානය, මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්කම සමථයකට පත්කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ සිට විශේෂ "බන්ධ පොලිස්" බුද්ධි අංශ කණ්ඩායමක් හදිසියේම මීගමුව බන්ධනාගාරය වෙත යැවීමට පියවර ගත්තේය. මෙම කණ්ඩායමට අභීත නිලධාරී රොෂාන් සංජීව ද ඇතුළත් විය.
සඳුදා උදෑසන මීගමුව බන්ධනාගාරය වෙත යන අතරතුර, සංජීව තම ආදරණීය බිරිඳට දුරකථන ඇමතුමක් ලබා දෙමින් පැවසූයේ, "මම මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කරන්න යනවා..." යනුවෙනි. එහෙත් එය තම ආදරණීය බිරිඳට ඇසුණු ඔහුගේ අවසන් කටහඬ වේ යැයි ඇය සිහිනෙනිදු නොසිතන්නට ඇත. ඉන්පසුව දවස පුරා බිරිඳ විසින් කිහිප වතාවක්ම ඔහුගේ දුරකථනයට ඇමතුම් ලබා දුන්නද, ඒ කිසිදු ඇමතුමකට සංජීවගෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
මීගමුව බන්ධනාගාර අභ්‍යන්තරයට ඇතුළු වූ සංජීව ඇතුළු බුද්ධි අංශ නිලධාරී කණ්ඩායම, කුපිත වී සිටි රැඳවූවන් පාලනය කිරීමට උත්සාහ කළහ. එහෙත් අවාසනාවකට මෙන්, සංජීව ඇතුළු සහෝදර නිලධාරීන් පිරිස බන්ධනාගාර තාප්ප තුළ රැඳවූවන්ගේ ප්‍රහාර හමුවේ කොටුවූහ. දරුණු අපරාධ චෝදනාවලට ලක්ව සිටි රැඳවූවන් විසින් යකඩ පොලු, තියුණු ආයුධ සහ ලී දඬු යොදාගනිමින් නිලධාරීන්ට අතිශය අමානුෂික සහ ම්ලේච්ඡ ලෙස පහර දීමට පටන් ගත්හ. රැඳවූවන්ගේ ප්‍රහාරයන් කෙතරම් දරුණු වීද යත්, රාජකාරි ඉටුකිරීමට ගිය බන්ධනාගාර නිලධාරීන් 8 දෙනකු එම ස්ථානයේදීම සහ රෝහල් ගතකිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වූහ. ඒ අවාසනාවන්ත නිලධාරීන් අතර රොෂාන් සංජීවද විය.
රැඳවූවන්ගේ අමානුෂික පහරදීම් හමුවේ බරපතළ ලෙස තුවාල ලබා, අසල වැටී සිටි රොෂාන් සංජීව , මරණයේ සෙවණැලි තමන් වෙත ලඟා වෙද්දී පවා සිතුවේ තමන් ගැන නොවේ. තමන් අසලම තුවාල ලබා සිටි තම හිතවත් සහෝදර නිලධාරි මිතුරාගේ අත තදින් අල්ලාගත් සංජීව, අවසන් වරට පවසා ඇත්තේ:
"මං ගැන බලන්න එපා බං... උඹේ ජීවිතේ බේරාගෙන මෙතැනින් කොහොමහරි පලයන්..."
තමන්ගේ ජීවිතය අවසන් සුසුම හෙළන මොහොතේ පවා තම සගයාගේ ජීවිතය රැකගැනීමට ඔහු තුළ තිබූ ඒ උදාර සහෝදරත්වය සහ නිර්භීතකම ශ්‍රී ලාංකේය රාජ්‍ය සේවා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු නොඅනුමානය.
තමන් එක සිතින් පෙරුම් පුරා හදා වඩාගත් එකම පුතුගේ අජීවී දේහය ඉදිරියේ සංජීවගේ ආදරණීය මෑණියන් වන ඒ. රන්ජනී හඬා වැටුණු ආකාරය අසල සිටි කාගේත් නෙතඟට කඳුළක් නැංවීය. ඇය තම හදවත දවාලන වේදනාව වචන බවට පෙරලුයේ මෙසේය:
සිද්ධිය සිදු වූ දින මීගමුවට යන බව පුතාගේ බිරිඳට උදේ කතා කරලා කියලා තියෙනවා. පස්සේ බිරිඳ කීප පාරක් කෝල් කළත් ෆෝන් එකට කතා කරලා නෑ. අපි මේ සිද්ධිය දැඩි ලෙස හෙළා දකිනවා. මේ හිරකාරයෝ මෙහෙම නඩත්තු කර කර හිර කරන් ඉන්න එකේ තේරුමක් නෑ. පොඩි කාලේ ඉඳන්ම දහදුක් විඳලයි මම මගේ පුතාව හැදුවේ. මගේ පුතාට මම ජීවිතේටම ගහලා තියෙන්නේ දෙපාරයි. ඒ වැරදි දෙකකට දඬුවම් කරන්න. එයා ඒ වැරදි දෙකෙන් හැදුණා. මම අතපය නොකඩපු පුතා අද ගෙදර ආවේ අතපයත් කඩාගෙන... මගේ පුතා අපේ අතරින් සදාකාලයටම සමුඅරන්. මේ ඉන්න අනිත් නිලධාරීන් හරි බේරගන්න රජය මොනවා හරි තද ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. මියගිය අටදෙනාම පොඩි දරුවෝ ඉන්න තාත්තලා!
බන්ධනාගාරයේ රැඳවියන් සම්බන්ධව එයාලගේ දෙමව්පියෝ, බිරින්දෑවරු බන්ධනාගාරය ඉස්සරහ ඇවිත් කෑගහනවා හරියට හොඳ දරුවෝ හදලා වගේ! හරිනම් අපි තමයි එතනට ගිහින් කෑගහන්න ඕනේ අපේ දරුවන්ට මෙහෙම කළා කියලා! එත් එයාලා කෑගහනවා එයාලගේ හොඳ දරුවෝ හිරකරගෙන ඉන්නවා කියලා! මේ අපරාධ කරපු හිරකරුවන්ට අනිවාර්යයෙන්ම මරණ දඬුවම හරි තද දඬුවම් දෙන්න ඕනේ..."
නිලධාරීන් 8 දෙනාගේ සහ ඔවුන්ගේ අනාථ වූ අසරණ දරුවන්ගේ මානව හිමිකම් වෙනුවෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම කනගාටුවට කරුණකි. රජය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වහාම ක්‍රියාත්මක වී බන්ධනාගාර අභ්‍යන්තරයේ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, මෙවැනි ම්ලේච්ඡ අපරාධ සිදුකළ රැඳවූවන්ට උපරිම නීතිමය දඬුවම් ලබාදීමටත් කටයුතු කළ යුතුව ඇත.
සමස්ත මීරිගම ගම්පියසම ශෝකාකුල සුදු කොඩිවලින් සැරසී තිබිණි. ගම්වාසීන්, නෑදෑ හිතමිතුරන් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් මෙන්ම සහෝදර නිලධාරීන් දහස් සංඛ්‍යාත පිරිසකගේ සෝ සුසුම් මැද අභීත බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරී රොෂාන් සංජීවගේ දේහය මීරිගම හල්පේ පොදු සුසාන භූමියේදී ආගමික වතාවත්වලින් අනතුරුව මිහිදන් කෙරිණි.
තමන්ගේ ලෙයින් සහ මසින් රටේ නීතිය සහ අභ්‍යන්තර ආරක්ෂාව රැක ගැනීමට පූජා වූ රොෂාන් සංජීව නම් ඒ ආදරණීය පියා, අභිමානවත් පුත්‍රයා සහ කැපවුණු රාජ්‍ය නිලධාරියා, මීරිගම පසට පස් වී ගියද, ඔහු සේවය වෙනුවෙන් පෑ අසහාය කැපවීම සහ අවසන් මොහොතේ පවා පෑ සහෝදරත්වය ශ්‍රී ලාංකික හදවත් තුළ සදා නොමැකෙන මතකයක් ලෙස පවතිනු ඇත.
සිරකරුවෝ මනුෂ්‍යයෝ නම්... ඒ මනුෂ්‍යයන් රැකීමට ගොස් ඝාතනය වූ නිලධාරීන් මනුෂ්‍යයන් නොවේද?.

