brand logo
logo
පොලිසියේ ප්‍රමාදයෙන් ‘වනේ චතූ’ හා ‘කලූ’ තවමත් ඩුබායිවල

පොලිසියේ ප්‍රමාදයෙන් ‘වනේ චතූ’ හා ‘කලූ’ තවමත් ඩුබායිවල

20 October 2026 | නයෝමි කරුණාසිංහ / රශිනි ද සිල්වා


ඩුබායි ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු මෙරටට පිටුවහල් කිරීම මෙරට පොලිසියේ ප්‍රමාදයක් මත ඇනහිට ඇතැයි වාර්තා වේ.


ඩුබායි බලධාරීන් විසින් ඉල්ලා ඇති අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොලිස් බලධාරීන් අපොහොසත් වීම නිසා එම කටයුතු අඩාළ වී ඇති බව පොලිස් ආරංචිමාර්ග කියා සිටී.


ලේඛන යොමු කිරීම් ප්‍රමාද වීමෙන් ඩුබායි සිට පිටුවහල් කර ගත නොහැකිව ඇත්තේ 'වනේ චතු' ලෙස හැඳින්වෙන අවිශ්ක මධුෂාන් අබේගුණවර්ධන සහ 'දෙහිබාලේ මල්ලී' නම් සංවිධානාත්මක අපරාධකරුගේ බාල සහෝදරයා වන කලූ නමැති පාතාල සාමාජිකයන් දෙදෙනාය.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය හා පොලිස් මූලස්ථානය ඩුබායි බලධාරීන් වෙත ලබා දුන් බුද්ධි තොරතුරු මත මෙම අපරාධකරුවන් ඩුබායි ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.


ඔවුන් මෙරටට පිටුවහල් කරන ලෙස මෙරට පොලිසිය මගින් එරට බලධාරීන්ගෙන් ඉල්ලා ඇති නමුත් ඩුබායි පොලිසිය ඉල්ලූ පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ලියකියවිලි මෙතෙක් සම්පූර්ණ කර නොමැති වී එම ක්‍රියාවලිය කල් ඇදී ඇතැයිද පොලිස් ආරංචිමාර්ග කියා සිටීයි.


මෙම අපරාධ කල්ලි හා සම්බන්ධ අතලොස්සක් වූ දූෂිත නිලධාරීන් පිරිසකගේ මැදිහත් වීම මත මෙම ක්‍රියාවලිය අසාර්ථක වී ඇත්ද යන සැකය මේ හේතුවෙන් මතුව ඇතැයිද එම ආරංචිමාර්ග කියා සිටී.


වනාතේ චතූ නමැත්තා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාස් අල් කෛමා හිදී පසුගිය අගෝස්තු 20 වැනිදා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු සංවිධානාත්මක ජාවාරම්කරු වන 'කංජිපානි ඉම්රාන්'ගේ සමීපතමයකු බවද පොලිසිය පවසයි.


'දෙහිබාලේ මල්ලී' ලෙස හැඳින්වෙන සත්සර ද ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අතර, ඔහු සිය සොහොයුරා වන මේ වනවිට ඩුබායි අත්අඩංගුවේ පසුවන ‘‘කලු මල්ලී’’ සමග එක්ව අපරාධ සිදු කර ඇති බව අනාවරණය වී ඇත.


මෙම අත්අඩංගුවට ගැනීම් හරහා සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලයන්ට එරෙහි විමර්ශනවලට විශාල රුකුලක් ලැබී තිබුණද, පොලිසිය තුළ පවතින පරිපාලනමය ප්‍රමාදයන් සහ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් එම විමර්ශනවලට දැඩි බාධා එල්ල වී ඇති බව විමර්ශකයෝ පෙන්වා දෙති.


 

More News..