Best News Website award
brand logo
logo
මේ වසරේ මේ දක්වා රිය අනතුරුවලින් 2,463ක් ජීවිතක්ෂයට

මේ වසරේ මේ දක්වා රිය අනතුරුවලින් 2,463ක් ජීවිතක්ෂයට

22 November 2026


2026 වසරේ ජනවාරි 01 සිට ඊයේ (21) දක්වා වූ කාලය තුළ දිවයින පුරා සිදුවූ මාර්ග අනතුරු 2,330කින් පුද්ගලයින් 2,463ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා පැවසීය. 


මෙම කාලසීමාව තුළ බරපතළ අනතුරු 5,868ක් වාර්තා වී ඇති අතර, ඉන් තුවාල ලැබූවන්ගෙන් 50%ක පමණ පිරිසක් ජීවත්කරවීම අවිනිශ්චිත බවද ඒ මහතා සඳහන් කළේය.


මීට අමතරව සුළු අනතුරු 9,870ක් සහ අලාභ හානි සිදුවූ අනතුරු 4,488ක් ද වාර්තා වී තිබේ.


අනතුරුවලින් මියගිය පිරිස අතර වැඩිම සංඛ්‍යාවක් පදිකයින් වන අතර, එම සංඛ්‍යාව 813කි.


මියගිය පදිකයින්ගෙන් බහුතරය වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයින් වන අතර, පදිකයින්ගේ නොසැලකිලිමත්කම සහ අපරික්ෂාකාරී බව මෙම මරණවලට ප්‍රධාන හේතුව වී ඇත.


එමෙන්ම යතුරුපැදි අනතුරු 876ක් වාර්තා වී ඇති අතර, ඒ ආශ්‍රිතව මරණ 900කට ආසන්න සංඛ්‍යාවක් සිදුවී තිබේ. එම මරණ අතර යතුරුපැදි පසුපස ගමන්කළ 168 දෙනෙකු සිටී.


මීට අමතරව පාපැදිකරුවන් 165 දෙනෙකු, රියදුරන් 190 දෙනෙකු සහ මගීන් 240 දෙනෙකු ද අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව ඇත.


පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව මෙවර මාරක රිය අනතුරු සංඛ්‍යාව 11කින් ඉහළ ගොස් තිබුණද, අනතුරුවලින් මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 16කින් අඩුවී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.


ඉදිරියට එළඹෙන උත්සව සමය වෙනුවෙන් බීමත්ව සහ අපරික්ෂාකාරී ලෙස රිය පදවන පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන බවත්, බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ නීතිමය මෙහෙයුම් තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

More News..