brand logo
logo
ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවට ලංකාවෙන් තිදෙනෙක්

ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවට ලංකාවෙන් තිදෙනෙක්

13 March 2025

චීනයේ නැන්ජියැං නගරයේ එළැඹෙන 21 වැනිදා සිට ආරම්භ වීමට නියමිත ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චමෝද් යෝධසිංහ, කාලිංග කුමාරගේ සහ කවීශ බණ්ඩාර යන ක්‍රීඩකයන් සමත් වී ඇති අතර වසර 24කට පසු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක මලල ක්‍රීඩා උළෙලකට සහභාගී වන වැඩිම ක්‍රීඩක සංඛ්‍යාව මෙය වීමද විශේෂත්වයකි.


මීටර 60 ධාවන ඉසව්වෙන් තරග වදින චමෝද් යෝධසිංහ සහ මීටර 400 දිවීම ඉසව්වෙන් තරග වදින කාලිංග කුමාරගේ යන ක්‍රීඩකයන් යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන අතර මීටර 60 කඩුලු මතින් දිවීම ඉසව්වෙන් තරග වදින කවීශ බණ්ඩාර ශ්‍රී ලක් මලල ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙකි.


මෙම ක්‍රීඩකයන් තිදෙනා ලෝක ශ්‍රේණිගත කිරීම් ක්‍රමවේදය අනුව මෙම තරගාවලියට සුදුසුකම් ලබන අතර මීටර 60 කාණ්ඩයෙන් තරග වදින චමෝද් සහ කවීශ යන ක්‍රීඩකයන් පසුගිය මස අගදී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු ශ්‍රී ලංකා කෙටි ධාවන පථ තරගාවලියේදී දක්වන ලද දක්ෂතා මත මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.


ඊයේ ( 12 වැනිදා) මෙම ක්‍රීඩකයන් තිදෙනා සුදුසුකම් ලබා ඇති බව තරගාවලි සංවිධායකයන් ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට ඇත්තේ සතියකට ආසන්න කාලයකි. පසුගිය දා පැවැති 'පර්ත් ක්ලැසික්' මලල ක්‍රීඩා තරගාවලිය සඳහාද අරුණ දර්ශනගේ සහ අනෙකුත් පුහුණුකරුවන් දෙදෙනාගේ වීසා ප්‍රමාදයක් සිදු වූ අතර ඔවුන් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේ තරගයට පෙර දිනයේදීය. එබැවින් පවතින කෙටි කාල පරාසය තුළ (අද දින පොහොය දින නිවාඩුවද යෙදී තිබීම නිසා) වීසා ලබාගැනීමේ අවදානමක් පවතින්නේද යන්න පිළිබඳව 'අරුණ' ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම්ගෙන් කළ විමසීමකදී, කෙටි කාල පරාසයක් පැවැතියද, කඩිනමින් වීසා ලබාගනිමින් ක්‍රීඩකයන් තිදෙනා සහ අදාළ පාර්ශ්ව තරගාවලියට සහභාගී කරවීමට බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කළේය.


මෙම තරගාවලියට පෙර වැඩිම ශ්‍රී ලාංකික තරගකරුවන් සංඛ්‍යාවක් සහභාගී වී ඇත්තේ 2001 දී වන අතර පෘතුගාලයේ ලිස්බන් නගරයේ පැවැති එම 9 වැනි ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සුසන්තිකා ජයසිංහ, සුගත් තිලකරත්න, දමයන්ති දර්ශා සහ රොහාන් ප්‍රදීප් කුමාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනා සහභාගී වූහ.

 

More News..