brand logo
logo
අලුත් පනත නිසා දිග කොණ්ඩ සහිත කාන්තාවන්ටත් ටිකක් පරිස්සම් වෙන්න වෙයි

අලුත් පනත නිසා දිග කොණ්ඩ සහිත කාන්තාවන්ටත් ටිකක් පරිස්සම් වෙන්න වෙයි

23 October 2026 | •සංවාදය - ජයසුරිය උඩුකුඹුර

වර්තමානයේ පොලිසිය සිය රාජකාරි බල සීමාව ඉක්මවා කටයුතු කරන බවට චෝදනා එල්ල⁣ වේ. එමෙන්ම බෞද්ධ විරෝධිව රජය ක්‍රියා කරන බවටත් ඒ ක්‍රියාකාරකම් සඳහා පොලිසිය යොදාගන්න බවටද චෝදනා එල්ල වේ. මේ කරුණු සම්බන්ධයෙන් හා තවත් කරුණු කිපයක් පිළිබඳව පොලිසිය භාර හිටපු අමාත්‍යවරයකු වු සරත් වීරසේකරයන් සමග ‘අරුණ’ කළ සංවාදයයි මේ.


ඔබ පොලිසිය භාර අමාත්‍යවරයා විදිහට කලක් කටයුතු කළා. වර්තමානයේ පොලිසියට බරපතළ චෝදනා එල්ල වෙනවා. මේ ගැන ඔබ මොනවද කියන්නෙ?

පොලිසිය කියන්නෙ ජනතාව ගේ ආරක්ෂකයා කියල කිව්වොත් වැරදි නෑ. ඒ රාජකාරිය ඉතාම හොඳින් අවබෝධයෙන් කරන පොලිස් නිලධාරීන් බොහෝමයක් ඔය පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්නවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයක් පිහිටුවලා තිබෙන්නෙත් ජනතාව ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්නයි. ඔවුන්ගේ වගකීම තමයි ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් සමාජ පරිසරයක් හදලා දෙන එක. නමුත් මේ වන විට ජනතාව ජීවත් වෙන්නේ බියෙන් හා සැකයෙන් කියල ජනතාව එක්ක කතා කරන කොට තේරෙනවා. රටේ තැනින් තැන පාතාල මැරයෝ වෙඩි තියා ගන්නවා. ඒවාට ගොදුරුව රටේ සාමාන්‍ය වැසියන්ගෙත් ජීවිත නැති වෙනවා. මේවා නවත්වන්න තමයි මහජන ආරක්ෂක අමාත්‍යංශය ඉන්නෙ. නමුත් මේ වනවිට මේ අමාත්‍යාංශය මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් අසාර්ථකයි. පොලිසියට දොස් කියල වැඩක් නෑ. ඒ අය මෙහෙය වන්න හොඳ නායකත්වයක් අවශ්‍යයයි. අද නැත්තෙ ඒකයි.

රටේ පුරවැසියන් විදියට සාමකාමීව අරගල කරන්න උද්ඝෝෂණය කරන්න ආණ්ඩුවට විරුද්ධව සාමකාමීව විරෝධය පළ කරන්න ජනතාවට අයිතියක් තිබෙනවා. ඒ අයිතිය උල්ලංඝනය කරන්න පොලිසියට බලයක් තිබෙනවාද?

රටේ පුරවැසියන් විදියට සාමකාමීව සිදු කරන කිසිදු අරගලයක් උද්ඝෝෂණයක් විරෝධය පෑමක් නවත්වන්න හෝ ඊට බාධා කරන්න කිසිදු පුද්ගලයකුට අයිතියක් නෑ. ඒ අයිතිය ජාත්‍යන්තරය පිළිගත් මානව හිමිකමක්. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ ඒ අයිතිය සුරැකීම පාලකයන්ගේ වගකීමක්. උද්ඝෝෂණ අරගලවලට මුවාවෙලා ජනතාව ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙනවා නම් ඒ අවස්ථාවලදී පොලීසියට මැදිහත් වෙන්න පුළුවන්. නමුත් වර්තමාන රජය සාමකාමී උද්ඝෝෂණ අරගල සහ විරෝධතාවයන්ටත් පොලිසිය හරහා යම් යම් බාධා කිරීම් හිරිහැර කිරීම් කරන බවක් අසන්නට දකින්නට ලැබෙනවා. ඔබ දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ ඔහු ඕනෑවටත් වඩා මේ සඳහා නිදහස ලබා දී තිබුණා. ඒකම තමයි ඔහුට වැරදුන තැන. ජනතාවගේ සාමකාමී විරෝධතාවයන්ට බාධා කරන ඒවා වැළැක්වීමට උත්සාහ දරන වත්මන් රජයට ජනතාවම අනාගතයේදී පිළිතුරු දෙයි කියලා අපි විශ්වාස කරනවා. මොකද ආණ්ඩු පත් කරන්නෙත් ආණ්ඩුව වෙනස් කරන්නෙත් ජනතාවමයි ඒක පාලකයෝ තේරුම් ගන්න ඕන.

සංවිධානාත්මක අපරාධ පනත තුළ මෙරටේ ජනතාව ගේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල වෙනවා. ඒ ගැන මොනවද කියන්නෙ?

මමත් මේ පනත කියවලා බැලුවා. ඒ ඉංග්‍රීසි පිටපතේ ඉතා පැහැදිලිව කියනවා දිග කොණ්ඩ සහ ටැටූ සහිත අයට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියල. දිග කොණ්ඩ සහිත කිව්වාම කාන්තාවන් බහුතරය දිග කොණ්ඩ සහිත අයයි. පනතේ කොතනකවත් නෑ දිග කොණ්ඩ සහිත පිරිමින් කියල. ඒ නිසා මේ පනත අනුව දිග කොණ්ඩ සහිත කාන්තාවන් ටිකක් පරිස්සම් වෙන්න වෙනවා. ආණ්ඩුවේ දකුණු අත කරන දේ වම් අත දන්නෙ නෑ. මේ පනතේ තියෙන දේ ගැන අධිකරණ ඇමැති දන්නෙ නැති විත්තිය ඔහු කරන ප්‍රකාශවලින් පැහැදිලි වෙනවා. වත්මන් ආණ්ඩුව ක්‍රියා කරන්නෙ කුහකත්වයෙන් කියල පේනවා. රටේ මේ තරම් වැදගත් ජනතා ප්‍රශ්න විසඳන්න තිබියදී මේ ආණ්ඩුව පත් කර ගන්න දරදිය ඇද්ද ත්‍රිරෝද රථ හිමියන් ගේ ත්‍රිරෝද රථවල අමතර උපාංග ගලවා ඉවත් කරන්න නීති සකස් කළා. බස්රථ අලංකරණයට යොදා ගත් උපාංග ගලවා ඉවත් කරන්න කටයුතු කළා. එවැනි පුංචි දේවල්වලට ප්‍රමුඛත්වය දීලා කටයුතු කළත් මේ ආණ්ඩුවට වසර දෙකක් වෙද්දීත් ජනතාවගේ දැවෙන ප්‍රශ්න එක තැන පල්වෙනවා. එයින් පැහැදිලි වන්නෙ ආණ්ඩුවේ නොහැකියාව බව පැහැදිලියි.

පොලිස් නිල ඇඳුමේ ධර්ම චක්‍රය ඉවත් කරන්න කියලත් සමහරු බලපෑම් කරමින් ඉන්නවා. ඇත්තටම පොලිස් නිල ඇඳුමට ධර්ම චක්‍රයක් එකතු කෙළේ ඇයි? ඒක ඉවත් කරන්න පුළුවන්ද?

ධර්ම චක්‍රය කියලා කියන්නේ අපේ රටේ සංස්කෘතික අනන්‍යතාවය පිළිබිඹු කරන සංකේතයක්. ඒ සංකේතය පොලිස් නිල ඇඳුමට එකතු කිරීමෙන් පොලිසියේ ක්‍රියාකලාපය පිළිබඳ ගැඹුරු පණිවුඩයක් සමාජ ගත කර තිබෙනවා. වත්මන් ආණ්ඩුවට මොනවා හරි කරන්න ඕනෑ වුණාම කවුරුන් ලවා හරි ඒ ගැන ජන මතයක් හදා ගන්නවා. මේ රටේ ජනතාව දන්නවා වත්මන් රජයේ මැති ඇමැතිවරු බෞද්ධාගම හා එහි සිරිත් විරිත් ගැන මොනවද කියන්නෙ කියල. එක් ඇමැතිවරයෙක් කීවා පිළිම වන්දනාව ගෝත්‍රිකයි කියල. තව කෙනෙක් කිව්වා බෝ ගහ නිකංම නිකන් ගහක් විතරයි කියල. පොල් ගහක් ළඟ බුදු බව ලැබුවා නම් පොල් කන්නෙ නැද්ද කියලත් ඇහුවා. ආණ්ඩුවේ ප්‍රබලයෙක් මේ රට නිරාගමික රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන්න ඕනේ කියල කිව්වා. තවත් අය භික්ෂුව වනචාරින් විදියට හණ්වඩු ගහන්න උත්සහ කළා. උතුරේ තිස්ස විහාරයට සිල් ගන්න යන්නෙ වෛරය වපුරන්න කියලත් කිව්වා. මේ විදියට මේ ආණ්ඩුවේ නායකයෝ බෞද්ධාගම හා භික්ෂුවට සමච්චල් කරනවා. එවැනි රජයකින් බෞද්ධයන්ට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තිය අනුව බුදුදහම ආරක්ෂා කරන්න ඕනේ. ඒක නීතියක්. ආණ්ඩුවම ඒ නිතිය උල්ලංඝනය කරනවා නම් ඒ ගැන කාටද කියන්නෙ. මෙරටේ බෞද්ධයන්ට තිබෙන ඉවසිම හා අන් අයට ගරු කිරීමේ ගුණය නිසා තමයි විග්නේෂ්වරන්ට කොළඹ ඇවිත් ජීවත් වෙන්න පුළුවන් වී තිබෙන්නෙ. ගජේන්ද්‍රන්ට කොළඹ ඉන්න පුළුවන් ජනතාව සාමකාමි නිසයි. ඒ බෞද්ධයන්ගේ සාමකාමී බව හා ඉවසීමේ සීමාවක් තිබෙනවා. අපි කවුරුත් ඒක අවබෝධ කර ගන්න ඕනේ. සම්බුද්ධ ශාසනයට එරෙහිව සිදු කරන අකටයුතුකම් පරාජය කරලා මේ සසුන රැක ගන්න බෞද්ධයන් ජීවිත පරදුවට තියල නැගී සිටිනවා. ඒ නිසා බෞද්ධයන් ගේ ඉවසීමේ සීමා පන්නා ගන්න එපා කියල අපි හැමෝගෙන්ම ඉල්ලනවා.

මෙරටේ සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයන් වෙහෙර විහාරස්ථානවල කටයුතුවලට සම්බන්ධ කරන්න ඉකුත් රජය කටයුතු කර තිබුණා. වත්මන් රජය තෝරා ගත් පන්සල් කීපයක සිටි සිවිල් ආරක්ෂකයන් ඒ තැන්වලින් ඉවත් කරලා. එහෙම කරන්න පුළුවන්ද?

මම මුලින් සඳහන් කළා වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවැනි වගන්තියට අනුව බුදු දහම ආරක්‍ෂාකොට පෝෂණය කිරීම රජයේ වගකීමක්. ඒ අනුව තමයි සිවිල් ආරක්ෂකයන් රජමහ විහාර හා පුරාවිද්‍යා වටිනාකමක් තිබෙන විහාරස්ථානවල ආරක්ෂාව සඳහා අනුයුක්ත කරන්න ඉකුත් රජය පියවර ගෙන තිබෙන්නෙ. අපි දන්න විදියට ඒ ඒ විහාරස්ථානවල ස්වාමීන්වහන්සේලාට පන්සල සොර-සතුරන්ගෙන් රැකගන්න ඒක ලොකු පහසුවක් වුණා. ඔබ කියන ආකාරයට වත්මන් රජය තමන්ට අවනත නොවන විහාරස්ථානවල සිටි සිවිල් ආරක්ෂකයන් ඒ තැන්වලින් ඉවත් කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. එයිනුත් පැහැදිලි වන්නෙ ⁣වත්මන් ආණ්ඩුවේ බෞද්ධ විරෝධී වැඩපිළිවෙළයි. සිවිල් ආරක්ෂක බළකාය කියන්නෙ මෙරටේ පුහුණුව ලැබූ හොඳ ශ්‍රම බළකායක්. ඔවුන් දැන් නිකමුන් බවට පත් කරලා. මොවුන්ට නිසි නායකත්වයක් ලබා දී රටේ ආර්ථික සංස්කෘතික කටයුතු සඳහා දායක කර ගන්න පුළුවන් නම් එමගින් ලැබෙන ප්‍රතිඵලය ඉතා ඉහළයි.

උතුරු නැගෙනහිර පුරාවිද්‍යා වටිනාකම් සහිත භූමිවල මේ වන විට ජනතාව පදිංචි කරවන්න පටන් ගෙන තිබෙන බවටත් චෝදනා එල්ල වෙනවා. මේ ගැන මොනවද කියන්නෙ?

පුරාවිද්‍යාත්මක තොරතුරු තමයි අපේ රටේ අනන්‍යතාවය තහවුරු කරන්නේ. බෞද්ධ සංස්කෘතික ඓතිහාසික තොරතුරු සඳහන් වැඩිම පුරාවස්තු තිබෙන්නෙ උතුරු නැගෙනහිර පළාත්වලයි. ඒවා විනාශ වුණොත් අපේ රටේ ඓතිහාසික වටිනාකම් නැතිව යනවා. අපේ අනන්‍යතාව තහවුරු කර ගන්න බැරිව යනවා. උතුරු නැගෙනහිර පළාත්වල සමහර අය හිතාමතාම බෞද්ධ පුරාවස්තු සහිත බිම්වල සිව ලිංග ආකෘති තැන්පත් කරනවා. එහෙම කරලා ඒ තැන් ඔවුන් ගේ ආගමික සිද්ධස්ථාන බවට පත් කර ගන්න කටයුතු කරනවා. ඒවාට එරෙහි වුණාම ආණ්ඩුව කියන්නේ ඒ භුමි දෙපිරිසටම පරිහරණය කරන්න ඉඩ දෙන්න කියලයි. එයින් සිදුවන්නෙ බෞද්ධ සංස්කෘතික අනන්‍යතාව විනාශ කර දැමීමයි. පුරාවස්තු හෝ සංස්කෘතික උරුමයන් සම්බන්ධයෙන් දේශපාලන කෝනයෙන් බලලා කටයුතු කිරීම හොඳ නෑ. මොකද පුරාවස්තු හා සංස්කෘතික උරුමයන් කියන්නෙ රටක ජාතියක ඓතිහාසික අනන්‍යතාව තහවුරු කරන වස්තුන්. ඒවා විනාශ වුණාම රටක් ජාතියක් විනාශ වුණා හා සමානයි. මේ ගැන ආණ්ඩුවේ අවධානය යොමු කරන්න ඕනේ.

පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රිවරු ආණ්ඩුව දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ලබා ගෙන ඔවුන්ට ඕනෑ විදියට කටයුතු කරන බවට චෝදනා එල්ල කරනවා. මේක බරපතළ චෝදනාවක්.....

ඔබ කියන කාරණය ඉතාම පැහැදිලියි. සමහර මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව තුළ කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පියවර ගන්න බැරුව ඇති. පාර්ලිමේන්තුවෙන් පිටතදී කරන ප්‍රකාශන සම්බන්ධයෙන් නීතියට අනුකූලව කටයුතු කරන්න පුළුවන්කම තිබෙනවා. මේ චෝදනා එල්ල වෙන්නෙ ආණ්ඩුවට නිසා ආණ්ඩුවට පුළුවන් එවැනි ප්‍රකාශවල සත්‍යයක් නෑ කියල ඔප්පු කරන්න. නමුත් ආණ්ඩුව ඒ ගැන කටයුතු නොකරන්නෙ නීතිය ඉදිරියේ ඔවුන් අපහසුතාවට පත් වියහැකි නිසාදැයි අපටත් සැකයක් තිබෙනවා. විපක්ෂයටත් මේ ගැන කටයුතු කරන්න වගකීමක් තිබෙනවා. අප එසේ නොකරන්නෙ ඇයි කියල කියන්න මට පුළුවන් කමක් නෑ. ඒ ගැන විපක්ෂ නායකවරයාගෙන් තමයි අහන්න ඕනේ. පරීක්ෂාවකින් තොරව වාරයෙන් නිදහස් කළ කන්ටේනර් 323 ක ආයුධ හා මත්ද්‍රව්‍ය රැගෙන ආවා කියල කියනවා. නමුත් ආණ්ඩුව ඒ ගැන කිසිම පියවරක් ගන්නෙ නෑ. ඇත්තටම ඒ කන්ටේනර් කාගේද ඒවායේ ආවේ මොනවද කියල දැන ගන්න ජනතාවට අයිතියක් තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවට යුතුකමක් තිබෙනවා ඒ තොරතුරු හෙළි කරන්න. නමුත් එහෙම වෙන්නෙ නෑ. අපි තේරුම් ගන්න ඕනේ කාටවත් හැමදාම ආණ්ඩු බලය රැක ගන්න බැරි බව. වත්මන් ආණ්ඩුව ඉකුත් පාලන සමයේ පාලකයන් වැරැදි කළා කියල දැන් නීතිය ක්‍රියාත්මක කරනවා වගේම වත්මන් පාලකයන් ගැනත් අනාගතයේදී ඒ ආකාරයට කටයුතු සිද්ධ වේවි. එදාට මේ හැම දේකම තොරතුරු එළියට ඒවී. කවුරු මොනවා කිව්වත් රටේ බහුතර ජනතාව ආණ්ඩුවේ මේ ක්‍රියාකලාපය ගැන අවබෝධයෙන් අවධානයෙන් ඉන්නෙ.

ආණ්ඩුව වැරැදි කරනවා නම් ඊට එරෙහිව කටයුතු කරන්න විපක්ෂයට වගකීමක් තිබෙනවා. නමුත් වත්මන් විපක්ෂය නිදාශීලී බවට චෝදනා එල්ල වෙනවා....

ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න ඕනේ විපක්ෂ නායකතුමා කියලයි මම හිතන්නෙ. එතුමාලා කටයුතු කරන විදිය ගැන මම කතාකරන එක බලවත් නෑනේ. දේශපාලන ක්‍රියාකාරීන් ලෙස අපි අපිට පුළුවන් ආකාරයට ජනතාව එක්ක ආණ්ඩුවේ හිතුවක්කාරි ජනතාවාදී නොවන හැම කාර්යකදීම ඒවාට එරෙහිව කටයුතු කරනවා.

අද සමාජයේ වඩාත් කතා බහට ලක්ව ඇත්තේ ඥානසාර හිමියන් ගේ සිවුර ඉවත් කිරීම ගැනයි. මේ ගැන ඔබ මොනවද කියන්නෙ?

ඇත්තටම ඥානසාර හිමියන් ගේ තත්ත්වය හා ඒ හා බැඳුන සිද්ධි මාලාව ගැන අපිට තිබෙන්නෙ දැඩි කනගාටුවක්. මාධ්‍යවේදියෙක් යැයි කියා ගන්නා එක්නැලිගොඩ අතුරුදන්වීම නිසා ඔහු මරාදැමුවා යැයි ලද පැමිණිල්ලක් අනුව මිනීමැරුම් චෝදනාව යටතේ පුද්ගලයන්ට නඩු පවරා තිබෙනවා. නමුත් මේ දක්වා මරපු මිනිය ගැන තොරතුරු නෑ. මිනියක් නැතුව මිනීමැරුවා කියලා චෝදනා කිරීමම පදනම් විරහිතයි. එක්නැලිගොඩ ගේ බිරිඳ අධිකරණයේදී කියන්නෙ තමන් ගේ සැමියා ජීවත්ව ඉන්නවාද කියල දන්නෙ නැහැ කියලයි. මැරිලද දන්නෙත් නෑ.... ජීවත් වෙනවාද දන්නෙත් නෑ. එහෙම සිද්ධියකට තමයි මිනීමැරුම් චෝදනාව යටතේ නඩු පවරා තිබෙන්නෙ. එවැනි පසු බිමක ඥානසාර හිමියන් අධිකරණය තුළ. සිදු කළ ප්‍රකාශයක් නිසා අධිකරණයට අපහාසයක් වුණා කියමින් උන්වහන්සේට නඩු පවරා දඬුවම් නියම කර ති⁣බුණා. ඒ දඬුවම ඉවත් කරලා ජනාධිපති සමාව දුන්නාම ඒ සමාව දීම අභියෝගයට ලක්කර විකල්ප කේන්ද්‍රයේ පාර්ක්‍යසෝති සරවන මුත්තු හා සන්ධ්‍යා එක්නැලිගොඩ නැවත නඩු පැවැරීම නිසා තමයි දැන් නැවත මේ ප්‍රශ්නය මතුව තිබෙන්නෙ. පෙර ජනාධිපති ගේ සමාවදීම දෝෂ සහිත නම් වත්මන් ජනාධිපතිට පුළුවන් ඒ දෝෂ නිවැරදි කරලා සමාව දෙන්න. ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයම කරුණු පැහැදිලි කර දී තිබෙනවා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දෙන්නෙ ත්‍රෛයිනිකායික මානාහිමිවරුන් ගේ ඉල්ලීම පාදක කර ගෙන නම්, එවැනි ඉල්ලීම් සුළුවෙන් තකන්න බැහැ කියලත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබෙනවා. ඒ කාරණා සැලකිල්ලට ගෙන වත්මන් ජනාධිපතිවරයා කටයුතු කළා නම් තත්ත්වය මෙතරම් බරපතළ වෙන්නෙ නෑ. එහෙම නොකර මේ ප්‍රශ්නය දිග් ගැසිම ආණ්ඩුවට වාසියක් වෙන්නෙත් නෑ.


 

More News..