brand logo
logo
අටපිරිකර මගඩිය

අටපිරිකර මගඩිය

13 August 2026


මේ රටේ විවිධාකාර මගඩි ක්‍රියාත්මක වේ. ඒ අතර පූජනීයත්වයේ නාමයෙන් කරගෙන යන මගඩිවලට ප්‍රධාන තැනක් හිමිවන බව සඳහන් කළ යුතුය. එකී පූජනීය ආකාරයේ මගඩිය අතර අටපිරිකර මගඩියට හිමිවනුයේ ප්‍රධාන තැනකි. මේ දිනවල පාරිභෝගික කටයුතු අධිකාරිය දිවයින පුරා වැටලීම් කරමින් අට පිරිකර මගඩියට වැට බැඳීමට කටයුතු කරන බව දැනගන්නට ලැබේ. සැබවින්ම එය අගය කළ යුතු රාජකාරියකි. එසේම මහා පින්කමකි. කවර හෝ ආගමක් අදහන ජනතාවගේ භක්තිය, ආගමික ප්‍රසාදය වංචා කිරීම සමාව දිය නොහැකි වරදකි. එහෙත් අප ජීවත්වන මෙරට යනු මිනිසුන්ගේ ආගමික භක්තිය, ප්‍රසාදය අමු අමුවේ මංකොල්ල කන ලෝකයේ එවැනි ආකාරයේ කිසිදු තැනකට, රටකට දෙවැනි නොවන දේශයකි. අටපිරිකර මගඩියෙන්ම එය තේරුම් ගත හැකිය.


මේ රටේ බෞද්ධ ජනතාවගේ සිත් සතන්වල අටපිරිකර පිළිබඳ තිබෙන්නේ අප්‍රමාණ භක්තියකි. විශ්වාසයකි. එයට හේතුව අටපිරිකර පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ තිබෙන විවිධ කතා පුවත්ය. ඝටීකාර නම් බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේට අටපිරිකර පූජා කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. එපමණක් නොව ඒහි භික්ෂු උපසම්පදාව ලබා ගැනීමට අටපිරිකර පූජාව කළ යුතුම පින්කමක් බව එකී සාහිත්‍යයෙහි සඳහන් වේ. එම පින්කම නොකළ පින්වතුන්ට පැවිදි උපසම්පදාව ලැබීම සඳහා අටපිරිකර සොයාගෙන යාමට සිදුවූ අයුරුත්, එසේ සොයාගෙන යන අතර හරකුන් ඇන ඔවුන් ඝාතනය කළ හැටිත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්වෙයි. මෙකී කරුණු නිසා බෞද්ධයෝ මිය යාමට පෙර අටපිරිකරක් පූජා කර ගැනීමට වෑයම්කරති.


මෙකී අදහසින් පමණක් නොව මල්වතු අස්ගිරි, ඇතුළු මහනාහිමිවරුන් බැහැ දැකීමට යන මේ රටේ දේශපාලන පින්වතුන්ගේද ප්‍රධාන විලාසිතාවක් වන්නේ අටපිරිකරක් රැගෙන යාමය. අටපිරිකර ලොකුම පිරිකර හැටියට ඔවුන් සලකනවා විය හැකිය. එක් පැත්තකින් අට පිරිකර ප්‍රභූත්වයේ සංකේතයක් බවට පත්ව තිබේ. එසේම රුවන්වැලිය ඇතුළු දාගැබ්වලට, දළදා මාලිගාවට අටපිරිකර පූජා කිරීමට බෞද්ධයෝ ඉමහත් කැමැත්තක් දක්වති. මෙකී තැන්වලට පූජා කරන අටපිරිකර එකතු කරනුයේ ලොරිවලිනි. මේවා යළි වෙළෙඳපොළට නිකුත්වේ. එයට හේතු කීපයකි. ඒ අතර එතරම් අටපිරිකර ප්‍රමාණයක් භික්ෂූන් වහන්සේලා ගබඩා කර ගැනීමට පහසුකම් නැත. ඒ සියල්ලට වඩා මේ බොහෝ අටපිරිකරවල ප්‍රමිතියට ගත හැකි එකදු පිරිකරක් හෝ නැත. අටපිරිකර යැයි සඳහන් කළද සමහර පිරිකරවල තිබෙන්නේ අටට අඩු පිරිකරකි. සමහරවිට හත් පිරිකරක් හෝ සය පිරිකරකි. අටපිරිකරට තනිපට සිවුර, දෙපට සිවුර, අඳන සිවුර, පාත්‍රය, දැළි පිහිය, ඉදිකටුව සහ නූල් බෝලය, බඳපටිය යන අට ඇතුළත් වෙයි. එහෙත් සමහර පිරිකරවල දෙපට සිවුර නැත. තවත් සමහර පිරිකරවල බඳපටිය නැත. එසේම දැලි පිහිය වෙනුවට තිබෙනුයේ රේසර් තලයකි. පාත්‍රය ගැන නම් කතාකර වැඩක් නැත. එය හුදෙක් ඇලුමිනියම් තහඩුවක් වටකුරුකර නවා සකස් කළ එකකි. එවැනි පාත්‍රයක භික්ෂූන් වහන්සේට නොව සතෙකුටවත් ආහාර ලබාදීම අනතුරුදායකය. ඒ ඇසිඩ් සහිත ආහාරවලින් ඇලිමිනියම් කුඩා කොටස් ආහාරයට එකතු වීමට ඉඩකඩ තිබෙන හෙයිනි. සැබවින්ම මේ බොහෝ අටපිරිකර භික්ෂූන් වහන්සේලා පරිහරණය නොකරති. ඒ බව අටපිරිකර වෙළෙන්දෝ දනිති. එනිසා ඔවුහු අටපිරිකරක් නමින් ප්‍රමිතියෙන් තොර ව්‍යාජ පිරිකරක් සකස් කර සැදැහැවතුන් රවටති. අනෙක් අතට බෞද්ධයන් අටපිරිකරක් මිලදී ගැනීමට පිරිකර කඩයකට යන්නේ ඉතාම හදිසියේය. පින්කමක් සැලසුම්කර අවසාන මොහොතේය. එනිසා සැදැහැවතුන් රැවටීමට පිරිකර මුදලාලිට මේ හදිස්සිය ඉතාම වාසි සහගතය. තායිලන්තය වැනි රටවල අටපිරිකර නමින් කලින් සූදානම් කළ පිරිකරක් නැත. ඒ වෙනුවට එරට බෞද්ධයෝ අවශ්‍ය පිරිකර හොඳට සොයා බලා වෙන වෙනම මිලදී ගනිති. අපේ බෞද්ධයන්ට කළ යුත්තේ ද එයමය. එහෙත් හොඳ මට්ටමේ අට පිරිකරම් මිලදී ගැනීම පහසු නැත.


එනිසා පිරිකර මුදලාලිලා ප්‍රමිතියෙන් ඉතාම බාල අඩුම කුඩුම ටිකක් සකස් කර අටපිරිකර යන ලේබලය යටතේ විකුණති. එහෙත් බෞද්ධයන් කළ යුත්තේ හැකි පමණ මුදලක් වියදම් කර හොඳ මට්ටමේ අටපිරිකරක් මිලදී ගැනීමය. අනිත් කරුණ ජීවිතයට එක් වතාවක් අටපිරිකර පූජා කිරීම ප්‍රමාණවත්ය. එසේ අට පිරිකරක් පූජා කළ යුත්තේ ඒ පිළිබඳ අවශ්‍යතාවක් තිබෙන භික්ෂූන් වහන්සේ නමකටය. එහි තිබෙන්නේ පාරිභෝගික වශයෙන් වටිනාකමක් තිබෙන උපකරණය. ප්‍රමිතියෙන් තොර අටපිරිකර කඩවල් හන්දියක් ගානේ ආරම්භ කර තිබෙන්නේ එමගින් හොඳට මුදල් ගැරිය හැකි හෙයිනි. මේ අට පිරිකර මගඩිය පාලනය කිරීම සඳහා 2005 වසරේ විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරිණි. එසේම අට පිරිකර විකිණීමේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතු අවසර පත්‍රය ප්‍රදර්ශනය කළ යුතු බවද තවත් කැසට් පත්‍රයකින් දන්වා තිබේ. එහෙත් වෙළෙන්දන් කරනුයේ බොහෝ විට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අවසර පත්‍රයේ ප්‍රදර්ශනය කර අටපිරිකර මගඩිය කරගෙන යාමය. එය හරියට බුදු සරණ යැයි ඉස්සරහ ප්‍රදර්ශනය කරමින් හොර හරක් පැටවීම වැනි වැඩකි. ඒ නිසා ආණ්ඩුව නොපමාව අටපිරිකර මගඩිය නතර කිරීමට පියවර ගත යුතුය. මහා නායක ස්වාමීන් වහන්සේලාද ඒ පිළිබඳ ආණ්ඩුවට උපදෙස් ලබාදිය යුත්තෝය. එසේම ප්‍රමිතියෙන් තොර පිරිකර අටක් අටපිරිකර යැයි පූජා කිරීම මහා පින්කමක් නොව මහ පාපයක් බව බෞද්ධයන් දැනගත යුතුය. එය එකිනෙකා රවටා ගැනීමේ දාමයක් බව සිහිපත් කළ යුතුය.

 

More News..