brand logo
logo
කබඩි දිනන ගමනට වළකපන්නාට ආණ්ඩුව බයද?

කබඩි දිනන ගමනට වළකපන්නාට ආණ්ඩුව බයද?

07 November 2026 | නදුන්ක නෙත්සර

ඉතිහාසයේ නොවූ විරූ පරිදි මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ කබඩි ක්‍රීඩාව ගැන ඉකුත්දා තුඩ තුඩ කියැවෙන්නට විය. ජයග්‍රහණයෙන් ජයග්‍රහණය පෙරට යමින් දශක තුනක පමණ ඉතිහාසයක් සහිත මෙරට කබඩි ක්‍රීඩාවේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීමට ඉකුත්දා ඉන්දියාවේදී අප ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.


ඒ ප්‍රථම වරට පැවැති පොදු රාජ්‍ය මණ්ඩල කබඩි ශූරතාවලියේදී ජයග්‍රහණ පීඨිකාව මත ශ්‍රී ලංකා ධජය ලෙළවමිනි. ශ්‍රී ලංකා කබඩි ක්‍රීඩකයන් රිදී පදක්කම ගෙල පලඳිද්දි ක්‍රීඩිකාවෝ ලෝකඩ පදක්කම දිනා ගත්හ. මෙය කබඩි ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයේ අප ලැබූ ඉහළම ජයග්‍රහණය යැයි කීවද වැරැදි නැත. එම ජයග්‍රහණ කියා පාන්නේ වසර කිහිපයක් මුළුල්ලේ අගාධයකට යමින් තිබූ මෙරට කබඩි ක්‍රීඩාව යළි නිවැරදි මාර්ගයට පිවිස ඇති බවය. එනමුත් එම මාර්ගය වැටී ඇත්තේ, මෙරට කබඩි අගාධයක් කරා ගෙනගිය, කබඩි ක්‍රීඩාවට අරක්ගත් බහිරවයන්ගේ බාධක මැදින්ය. නැතිනම් කබඩි ක්‍රීඩාවේ රීරිමාංශත් හූරාගෙන කෑ, කබඩි ක්‍රීඩාවෙන් ලැබූ දොළපිදේනි නොමැතිවීමෙන් වියරු වැටී වලිකන පිසාචයන්ගේ අනේකවිධ ‘පෙරේත වැඩ’ මධ්‍යයේය.


ශ්‍රී ලංකාවේ කබඩි ක්‍රීඩාව ඇරැඹීම 90 දශකයේ මුල් භාගයේදී සිදු විය. කබඩි යන නමින් ඉන්දියාවේ සිට මෙරටට එම ක්‍රීඩාව පැමිණෙද්දී එය මෙරැටියන්ට ආගන්තුක නොවූයේ මෙය අප සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවක් වූ චක්ගුඩු ක්‍රීඩාවටම බොහෝ සෙයින් සමාන වූ බැවිනි. මහවැලි ක්‍රීඩා උළෙලට ඇතුළත් කරමින් ඇරැඹුණු කබඩි සඳහා 1993 පමණ වන විට ජාතික තරුණ සේවා සභාවේ අවධානය යොමු වන අතර එකල කබඩි කණ්ඩායම සැකසෙන්නේ වොලිබෝල් ආදී ක්‍රීඩාවල නිරත වූ ක්‍රීඩකයන් එකතු කරගනිමිනි. ඒ අතරවාරයේ ආසියානු කබඩි සම්මේලනයද සම්බන්ධ කරගනිමින් මෙරට කබඩි සම්මේලනය පිහිටුවීමේ කටයුතු සිදු කෙරී ඇත. මෙලෙස කටයුතු පෙරට යාම හමුවේ 1998 බැංකොක් ආසියානු ක්‍රීඩා උළෙලට තරගකරන ශ්‍රී ලංකා කබඩි ක්‍රීඩකයෝ සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර පළමු ජාත්‍යන්තර පදක්කම් ජයග්‍රහණය වාර්තා කරමින් 1999 කත්මන්ඩු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම දිනා ගත්හ. එතැන් පටන් දකුණු ආසියානු, ආසියානු ශූරතා, ගෘහස්ථ සහ බීච් ආදී තරගාවලි නියෝජනය කරමින් ජයග්‍රහණ ලැබූ මෙරට කබඩි ක්‍රීඩාවේ අවසන් ජාත්‍යන්තර ජයග්‍රහණය වාර්තා වූයේ 2019 වසරේදීය. ඒ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙහි රිදී පදක්කමය.


ශ්‍රී ලංකා කබඩි සඳහා කණකොකා හඬන සමය උදාවන්නේ ඉන් අනතුරුවය. ඒ මෙම ලිපිය ඇරැඹුමේ සඳහන් කළ බහිරවයන් ශ්‍රී ලංකා කබඩි සම්මේලනයට අරක් ගැනීම නිසාය.

ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවට ක්‍රීඩාවෙන් තමන් දියුණුවීම ඒකායන පැතුම කරගත් මෙම නඩය මෙරට කබඩි ක්‍රීඩාව කාබාසිනියා කරන්නේය. කනගාටුවට කරුණ නම් මෙම නඩය මෙහෙයවන්නා කබඩි පරිපාලනයට රිංගාගෙන සභාපති ලෙස පත්වන්නේ, අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සිට ආණ්ඩුවේ කෙරුවාව පතුරු ගහන හිටපු ක්‍රීඩා ඇමැතිවරයකුගේ පූර්ණ අශිර්වාදය මධ්‍යයේ වීමය. එදා එම ක්‍රීඩා ඇමැතිවරයාගේ හයිය ද ගෙන, සිය තනතුරු සහ වරප්‍රසාද අයුතු ලෙස භාවිත කරමින් මූල්‍ය වංචා සිදු කළ බවට චෝදනා ලත් මෙම නඩය, ක්‍රීඩකයන්ගෙන් කප්පම් මුදල් ඉල්ලා සිටීම‍ට තරම් පහත් තැනකට එදා වැටෙද්දී අදටද මෙම ක්‍රීඩාව මෙරට නොනැසී තිබීම එක්තරා ආකාරයේ පුදුමයකි. පසුකලෙක, රටේ ආරක්ෂක අංශ කෙරෙහි අභූත චෝදනාවක් නැගෙන සේ දේශපාලන රැකවරණය ඉල්ලීමේ නාටකයක් රඟ දක්වමින්, රටින් පැනගොස්, රටේ නම පාවාදුන් මේ පිසාචයෝ මුහුදු හතක් එපිට සිටියද සිය හම්බකෙරුවාව වූ කබඩි ක්‍රීඩාව ‘ලෙවීම’ නතර කළේ නැත. ජාත්‍යන්තර කබඩි සම්මේලනයේ අනුමැතිය නොමැති 'වර්ල්ඩ් කබඩි’ නම් අනීතික ජාත්‍යන්තර කබඩි සංවිධානයක තනතුරු ද ලබාගෙන ජාත්‍යන්තර තහනමකට ලක් වූ අදාළ සභාපතිවරයා, එංගලන්තයේ පැවැති තරගාවලියක් සඳහා කබඩි ක්‍රීඩකයන් නොවන පිරිසක් මෙරට ජාතික කණ්ඩායම ලෙස හුවා දක්වමින් යැවීමට උත්සාහ කිරීමේ කූට සැලැස්මේ මහමොළකරු බව කියැවුණි. එමෙන්ම මෙම පිරිස මෙතරම් චෝදනා හමුවේ වුව සිය අකටයුතුකම් පෙරට ගෙන ගියේ ක්‍රීඩා අමාත්‍යාංශය තුළ සිටින ‘මැක්කන්’ පිරිසකගේ සහයෙනි. (මැක්කන් හැදී වැඩෙනුයේ මොක්කුන් ඇසුරේද යන්න දන්නෝ දනිති)


පසුකාලීනව කබඩි සම්මේලනය ක්‍රීඩා අමාත්‍යාංශය යටතට ගෙන, අතුරු පාලක කමිටුවක් යටතට පත්කර පරිපාලනය පිරිසුදු කිරීමේ වෑයම හමුවේ යළිත් ක්‍රීඩාවට, ක්‍රීඩකයන්ට හිස එසවීමට හැකි කලක් උදා විය. පෙර එකී දූෂිත පරිපාලකයන් සිය බලය පවත්වාගැනීමේ අරමුණින් දිස්ත්‍රික් සංගම් සතුටු කිරීම සඳහා කළ ක්‍රීඩකයන් තේරීම වෙනුවට, දක්ෂයාට නිසි තැන ලැබෙන ක්‍රමය යළි ඇරැඹිණි. ඒ අතරවාරයේ ඉකුත් මැයි මස පැවැති කබඩි සම්මේලන නිලවරණයේදී, ක්‍රීඩාවට ඇල්මැති පිරිසක් යළි පරිපාලනයට එක් වූහ. කෙසේ වෙතත් ක්‍රීඩාව විනාශ මුඛයට ගෙන ගියවුන් ද යළි මේ සඳහා හිස පෙවීමට සමත් වූවේ, පෙරකී ක්‍රීඩා අමාත්‍යංශයේ සිටින ‘මැක්කන්ගෙන්’ ලැබෙන සහය පිළිබඳ සැකය වඩාත් තීව්‍ර කරමිනි. කෙසේ හෝ නිසි පරිපාලනය හමුවේ පෙර පැවැති ‘මට ඕනි එකා’ තේරීම් වෙනුවට, විනිවිධභාවයකින් යුතු ‘රටට අවැසි කෙනා’ තේරීම් සිදු කිරීම ඇරැඹිණි. තරගාවලියකට දින කිහිපයක් තිබියදී හදිසියේ සිදු කරන සංචිත නම් කිරීම වෙනුවට ක්‍රීඩක ක්‍රිඩීකාවන් තෝරා මූලික සංචිත (long list) සකසා ක්‍රමානුකූලව අවසන් සංචිතය දක්වා පැමිණෙන ක්‍රමය යළි ක්‍රියාවට නැගිණි. ඒ අතරවාරයේ සිය පටු අරමුණු ඉටු කරගැනීම උදෙසා දතකන තහනමට ලක්ව සිටින හිටපු ‘පාසාචයා ප්‍රමුඛ පෙරේත සන්නිපාතය’ විසින් නිලවශයෙන් පිහිටවූ ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් පරිබාහිරව, ව්‍යාජ කබඩි සම්මේලනයක් අටවා ගන්නේ මෙරට කබඩි ක්‍රීඩාව යළිත් අගාධයට ඇද දැමීමේ අරමුණෙනි.


මේ අතරවාරයේ කුලුඳුල් පොදුරාජ්‍ය මණ්ඩලීය කබඩි ශූරතාවලිය සඳහා මෙරට සහභාගිත්වය වැළැක්වීමට උත්සාහ දරන පිසාච නඩය, නිලවරණයෙන් පත්වූ සම්මේලනයේ නිලධාරීන්ට එරෙහිව වාරණයක් ලබාගන්නට සමත්වන්නේය. ශූරතාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිතගත කිරීම, පුහුණුවීම් ඇරැඹීම, අත්‍යවශ්‍ය නිල ලිපි ලේඛන කටයුතු සිදු කිරීම ආදී සියලු කටයුතු ඇනහිටින්නේ සියලු ‍යහපත් උත්සාහයන් ගඟට කැපූ ඉනි බවට පත්වීමේ අවදානමක හෙළමිනි. කෙසේ හෝ ක්‍රීඩා අමාත්‍යාංශයේද සහය සමගින් අවසන් මොහොතේ ශූරතාවලියට සහභාගි වන අප ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රිදී සහ ලෝකඩ දිනන්නේ සිය ගතේ සහ සිතේ සවියෙනි.


මෙවර ස්වෝත්සාහයෙන් ජය ලැබුවද, අනාගතය එතරම් පහසු නොවන බව නිසැකය. මෙතෙක් ආසියානු, දකුණු ආසියානු රටවල් සමග තරග කළ අප මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ශූරතාවලියේදී නැගී එන අප්‍රිකානු රටවල සවිය ද දුටුවෙමු. අපට සපේක්ෂව ඉතා මෑතකදී කබඩි ක්‍රීඩාවට පිවිසි උගන්ඩාව, කෙන්යාව වැනි ශාරීරික ශක්තිය අතින් ඉහළ රටවල් සමග තරග කිරීමට නම් අප ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෝෂණය මෙන්ම තාක්ෂණය ද අත්‍යවශ්‍යය. එකල අප ක්‍රීඩකයෝ ඉන්දියාව ඇතුළු විදෙස් රටවල 'ප්‍රෝ කබඩි’ ලීග් තරගාවලි සඳහා සහභාගිවීමට තරම් දක්ෂතා දැක්වූහ. එනමුත් ක්‍රීඩාවට මෙන්ම ක්‍රීඩකයන්ට ද විනකැටූ දූෂිතයෝ කළේ ක්‍රීඩකයන් දිරිමත් කිරීම වෙනුවට ඔවුන්ගෙන් කප්පම් ගැනීමය. කප්පම් නොදෙන කල ක්‍රීඩකයන්ට තහනම් පැනවීමය. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ශූරතාවලිය ද මෙරට දක්ෂයකුට අහිමිවන්නේ එවැනි තහනමක් නිසාය. ඉකුත් ආසියානු ක්‍රීඩා උළෙල මෙරට පිරිමි කණ්ඩායමට මග හැරෙන්නේද, එවකට දූෂිතයන් සිය බලය රැකගැනීම සඳහා හිතවත්කම් මත තෝරා ජාත්‍යන්තර තරගාවලි සඳහා ඉදිරිපත් කළ කණ්ඩායම් හොඳම එකෙන් පැරදී ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම් පහත හෙළිමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

මේ වන විට එල්ලවන බාධා හමුවේ දෙසැම්බර් මස පැවැත්වීමට සැලසුම්කර තිබූ ජාතික කබඩි ශූරතාවලිය මෙන්ම බීච් කබඩි ශූරතාවලිය ද පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකය. එමෙන්ම මෙරට කබඩි පුහුණුකරුවන් සහ විනිසුරුවරුන් ඉන්දීය සහයෝගය යටතේ එරට නේවාසික පුහුණුවකට යැවීමේ කබඩි සම්මේලන සැලසුම් දින වකවානුවක් නොමැතිව කල් දැමීමට සිදුව ඇත. ඉදින් මෙලෙස තවදුරටත් මෙරට කබඩි ක්‍රීඩාවේ අනාගතයක් ගැන මවන සිහින සිහිනම පමණක් වනු ඇත. පාසල් මට්ටමෙන් කබඩි ක්‍රීඩාව තවදුරටත් ව්‍යාප්ත කරමින් දක්ෂයන් නිසි කලදී හඳුනාගෙන ජාත්‍යන්තර තලය දක්වා ඔසවා තැබෙන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතුය. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු ආයතනය නිල කබඩි සම්මේලනයට සහය දක්වමින් පෙරට පැමිණිය යුතුය. නමුත් ඒ සියල්ලට ප්‍රථම කබඩි ක්‍රීඩාව විනාශ කිරීමට අරඅදින බහිරවයන් පන්නා දැමිය යුතුය. එම බහිරවයන් ලබා ගන්නා අනීතික සන්තෝසම්වල ඉඳුල් ලෙවකෑමේ පරමාර්ථයෙන් ඔවුනට ආවඩනා, මහජන බදු මුදලින් වැටුප් ලබන්නන් තවත් සිටී නම් ඔවුනද එකී බහිරවයන් සමගම පන්නා දැමිය යුතුය. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සිය බලය දැන්වත් පාවිච්චි කළ යුතුය.


එසේම ක්‍රීඩා ඇමැතිවරයා සහ ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය පමණක් නොව දූෂිතයන්ට එරෙහිව නීතිය තිතට ක්‍රියාත්මක කිරීමට නොපසුබට වන බව පවසන ආණ්ඩුවටද මෙරට කබඩි ක්‍රීඩාවේ නාමයෙන් පමණක් නොව, මෙරට සාධාරණ සමාජයක් බිහි කිරීමේ නාමයෙන් කළ යුතුම දෙයක් ඇත. එනම් ඉකුත් සමයේ කබඩි ක්‍රීඩාව පෙරේත තටුවක් කර වැළඳූ මෙකී දූෂිතයන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් වහ වහා නීතිය ක්‍රියාත්මක කිරීමය. අද වන විට මෙම පිසාච නඩයේ නායකයා, තවත් විපක්ෂ දේශපාලන චරිතයක සෙවනේ සිටිමින් කබඩි ක්‍රීඩාවේ ‘ලේ උරාබීම’ අරඹා ඇත. එදා ආණ්ඩු පක්ෂයේ දේශපාලන සවිය ගනිමින් ඒ සා තිරශ්චීන වැඩ කළ, මේ සා දූෂිතයන්ට තවදුරටත් නිදහසේ සිය ‘ගොදුරු ගැනීමට’ තවදුරටත් ඉඩ ප්‍රස්ථා ලබා දෙන්නේ නම් මෙවන් ආණ්ඩුවක් පත්කළ ජනතා අභිලාෂයට සිදුවන සාධාරණය කුමක්ද?


 

More News..