ඉන්දියාවේ ජෛව ඉන්ධන භාවිතය ඉහළට
10 July 2026
ඉන්දියාවේ ජෛව ඉන්ධන භාවිතය ඉහළට
10 July 2026
පෙට්‍රල් සමග ජෛව ඉන්ධන මිශ්‍ර කර භාවිත කිරීම ඉහළ නැංවීමට ඉන්දියාව තීරණය කර තිබේ. නමුත් ඒ සඳහා ප්‍රමාණවත් ලෙස වාහනවල ව්‍යුහය සකස් වි නොමැති තත්ත්වයක් යටතේ ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් වාහන රියැදුරන්ගේ අකැමැත්ත පළ වී ඇත.
ඉන්දීය බලධාරීන් නව තීරණයට එළැඹ ඇත්තේ ආනයනික බලශක්තීන් මත යැපීම අවම කිරීමේ හා කාබන් විමෝචනය පහළ දැමීමේ බලාපොරොත්තුවෙනි. ලොව දෙවන විශාලතම යතුරු පැදි වෙළෙඳපොළ හා තෙවැනි විශාලතම මෝටර් රථ වෙළෙඳපොළ ඉන්දියාව සතුය. 2000 ගණන්වල සිට උක් හා බඩඉරිඟු බෝග අවශේෂ මගින් නිපදවන එතනෝල් ඉන්ධනවලට මිශ්‍ර කිරීමට ඉන්දියාව හුරු වී සිටියේය. එහිදී 10% එතනෝල් ප්‍රතිශතයක් මිශ්‍ර කරනු ලැබීය.
නමුත් පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙම ප්‍රතිශතය 20% දක්වා ඉහළ දැමීමට තීරණය කිරීමත් සමග ඒ සම්බන්ධ විරෝධය දිගින් දිගටම වැඩිවෙමින් පවතී. රියදුරන් හා මෝටර් වාහන හිමිකරුවන් පවසන්නේ 20%කින් එතනෝල් මිශ්‍ර කර ශක්තිය නිපදවීමට වාහන නවීකරණය කර නොමැති බවයි. මෙම නව ඉන්ධන වර්ගය හඳුන්වා දී ඇත්තේ E-20 වෙළෙඳ නාමය යටතේය.
එතනෝල් මිශ්‍ර නොකළ පෙට්‍රල් තවමත් අලෙවිය පිණිස පවතින නමුත් එය E-20ට වඩා 40%-50%කින් මිල අධිකය.
E
-20 භාවිත කළ බොහෝ රියැදුරන්ගේ පැමිණිලිවලින් පසු ගිය කාල පුරාම සමාජ මාධ්‍ය පිරී පැවැතිනි. ඒ අතර යන්ත්‍ර කොටස් ගෙවී යාම, වාහනවල කාර්යක්ෂමතාව අඩුවීම හා බලගැන්වීම පමාවීම ආදි දෝෂ බහුලව දක්නට ලැබිණි.
එහි අවසන් ප්‍රතිඵලය ලෙස පසුගිය සතියේ මෝටර් රියැදුරන් රැසක් දිල්ලියේදී විරෝධතාවක් පැවැත්වීය. එහි මූලිකත්වය ගෙන තිබුණේ විපක්ෂ කොංග්‍රස් පක්ෂයේ ආධාරකරුවකු හා රජයේ ප්‍රබල විවේචකයකුද වන ධනවතකු විසිනි. රජය ඒකපාර්ශ්වික ලෙස E-20 භාවිතයට බලකරමින් සිටියද ඒ සඳහා පහසුකම් පවතින්නේ සීමිත ඉන්ධනහල් සංඛ්‍යාවක බවත් ඊට අමතරව සේවා ගාස්තු ඉහළ නංවා ඇති බවත් ඔවුන් නගන චෝදනාවය.
රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත්තේ සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාරය වන බව හා නොමග යවන සුලු ප්‍රකාශ සමාජ ගත කර ඇති බව පවසමිනි.
ගිය මාසයේ රජයේ නිකුත් කළ නිවේදනයකට අනුව E-20 නිෂ්පාදනය කර ඇත්තේ දිගු කාලයක් පුරා සිදුකළ පර්‌යේෂණවල ප්‍රතිඵලයක් ලෙසය. ඒ අනුව නව ඉන්ධනය මගින් වාහනවල යන්ත්‍රවලට හානියක් සිදු නොවන බව එහි දැක්වේ. ඉන් නොනැවතී E-20 භාවිතයේ ඇති පහසුකම් ලැයිස්තුවක්ද ඉන් නිකුත් කර තිබිණි. රජය පවසන්නේ E-20 පිළිබඳ අලංකාර මිථ්‍යා මත රැසක් සමාජ මාධ්‍ය මගින් වපුරන බවයි.
E-20 භාවිත කරන විශේෂඥයන් හා රථවාහන නිෂ්පාදකයන්ගේ නම් ලැයිස්තුවක්ද රජය ප්‍රකාශයට පත්කර ඇත්තේ ඒ අනුවය.
පසුගිය සති අන්තයේ රාජ්‍ය මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ විශේෂඥයන් ගණනාවක් E-20 නිෂ්පාදනය කිරීම සඳහා ගත් පියවර සාක්ෂි සහිතව පැහැදිලි කළේය. පෙට්‍රල් සමග එතනෝල් 20%කින් මිශ්‍ර කිරීම මගින් වාහනවලට හානි සිදුනොවන බව එහිදී පැහැදිලි කෙරුණි.
මරුටි සුසුකි ආයතනයේ සන්නිවේදන කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ විධායක රාහුල් භාර්ති පවසා ඇත්තේ සිය ආයතනය මගින් E20 භාවිත කළ පැරණි වාහන මිලියන 15කට වඩා පරීක්ෂා කළ නමුත් ඉන්ධන දෝෂ කිසිවක් හඳුනාගත නොහැකි වූ බවයි. නමුත් යාන්ත්‍රික දෝෂ හමු වූ බව ඔහු ප්‍රකාශ කළේය. මරුටි සුසිකි ඉන්දියාවේ විශාලතම රථවාහන නිෂ්පාදකයාය.
දැනට අනාවරණය වී ඇති තොරතුරු අනුව E20 භාවිතය මගින් වාහනවල කාර්යක්ෂමතාව 3%-3.5%කින් පහත බසින බව රථවාහන නිෂ්පාදකයෝ ප්‍රකාශ කරති. සමහර සමාගම්වලට අනුව එය 4%-12% තරම් ඉහළ අගයකි.
E20 භාවිතය සඳහා ඉන්දියාවේ අවධානය යොමු වූයේ ඉන්දියාවේ අධික ඛනිජ තෙල් ආනයන වියදම අඩුකර ගැනීමේ අදහසිනි. ඊට අමතරව පරිසරයට කාබන් විමෝචන වායු නිදහස් වීම අඩු කිරීමේ හා ගොවියන්ට ආදායම් මාර්ගයක් උදාකිරීමද එහි තවත් අරමුණු අතර වේ. එතනෝල් දහනය කිරීමෙන් පරිසරයට නිකුත් වන කාබන් ප්‍රමාණය පෙට්‍රල් දහනයෙන් නිකුත් වන ප්‍රමාණයට වඩා අඩුය. එසේම එතනෝල් නිෂ්පාදනයට අවශ්‍ය උක් හා බඩඉරිඟු අවශේෂ දේශීයව ලබාගැනීමේ හැකියාවද පවතී.
ඉන්දියාවේ භාවිත වන ඉන්ධනවලින් බහුතරය ආනයනික බොරතෙල්වලින් සපයා ගනී. ඉරාන යුද්ධය අතරතුර විශාල වශයෙන් ඉන්ධන සපයා ගැනීමට ඉන්දියාවේ අවධානය ඉහළ නැංවීය. ඉන්දියාවට අමතරව ඉන්දුනීසියාව හා වියට්නාමය වැනි රටවල්ද එතනෝල් භාවිතය ඉහළ නැංවීමේ වැඩසටහන් ප්‍රවර්ධනය කරමින් සිටී.
ඉන්දියාව සිය ආදර්ශය වශයෙන් යොදාගත්තේ බ්‍රසීලයයි. බ්‍රසීලය දශක හතරක් පමණ තිස්සේ එතනෝල් මගින් ධාවනය වන මෝටර් වාහන පිළිබඳ අත්හදා බලමින් සිටී. ඒ අනුව ඔවුන් E 27 හා 100% එතනෝල් යොදා ගන්නා වාහන මාදිලි දෙකක් ඉදිරිපත් කළ අතර එයින් වඩාත්ම ලාබදායක විකල්පය එතනෝල් බව හෙළි වී ඇත.
ඉ
න්දියාව එතනෝල් භාවිතයට එළඹී වසර තුනිකි. 2022 දී එය 10% එතනෝල් මිශ්‍ර කිරීම හඳුන්වා දුන්නේය. 20%ක් මිශ්‍ර කිරීම ආරම්භ කළේ පසුගිය වසරේ (2025)දීය.
Mobility global මෝටර් වාහන පර්‌යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ පුනීත් ගුප්තා පවසන්නේ ඉන්දියාවේ වාහනවලින් 75% වඩා E20වල දෝෂ ප්‍රකාශ කරන්නේ නැති බවයි. තොම්සන් රොයිටර්ස් පදනම ගිය වසරේ සිදුකළ අධ්‍යයනයකින්ද මීට සමාන ප්‍රතිඵල ලැබී තිබේ. එසේම පසුගිය වසර 15 තුළ අලෙවි වී ඇති පෙට්‍රල් වාහන අතරින් E20 භාවිතය සම්බන්ධ දෝෂ පිළිබඳව චෝදනා නගා ඇත්තේ 20%ක් පමණකි.
ද
ෝෂ දක්වන වාහන බහුතරයක් 20%ක එතනෝල් භාවිතය සඳහා නවීකරණය නොකළ 2023ට පෙර නිෂ්පාදනය කළ ඒවාය. එන්ජින් විඛාදනය වීම හෝ වාහනයේ කාර්යක්ෂමතාව අඩුවීම ඔවුන් නගන චෝදනාවයි.
‘
ඔබ මෙය අනුමත කරනවා නම් ඉන් හානියක් නොමැති බවට ඔබ සහතික විය යුතුයි.’
නම හෙළිකිරීමට අකැමැති මෝටර් රථ විශේෂඥයකු පවසා තිබේ. දැනට ඇති ප්‍රධානතම බිය වන්නේ E20 වාහනවල කාර්යක්ෂමතාව පහළ වැටීමයි. එසේම ඉන්ධන වඩාත් ලාබදායී හා භාවිතය පහසු වීමද වැදගත්ය.

