Best News Website award
brand logo
logo
ශ්‍රී ලාංකික කාන්තාවක් කුක් දූපත්වල සිරවෙයි – නවසීලන්ත අමාත්‍යවරයාට නිල ලිපියක්

ශ්‍රී ලාංකික කාන්තාවක් කුක් දූපත්වල සිරවෙයි – නවසීලන්ත අමාත්‍යවරයාට නිල ලිපියක්

27 November 2026


කුක් දූපත්වල සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාවක ආරක්ෂිතව සහ ඇයගේ කැමැත්ත පරිදි යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය නවසීලන්ත රජයේ සහාය ඉල්ලා තිබේ.


මෙලෙස කුක් දූපත්වල සිරවී සිටින්නේ රුචිරා සෙව්වන්දි රණසිංහ නමැති ශ්‍රී ලාංකික කාන්තාවකි.

ඒ අනුව, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් නවසීලන්තයේ ආගමන කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය කැමරන් බෲවර් මහතා වෙත නිල ලිපියක් යොමු කර ඇත.


අදාළ කාන්තාව යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විශේෂ මානුෂීය සැලකිල්ලක් දක්වමින් පෞද්ගලිකව මැදිහත් වන ලෙස එම ලිපිය මගින් ඉල්ලීමක් කර තිබේ.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භයේ සිටම නවසීලන්තයේ වෙලින්ටන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මැදිහත් වී කටයුතු කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.


නවසීලන්තයේ ආගමන නීති සහ නියාමන රාමුවලට පූර්ණ ගරුත්වය දක්වමින්, දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මත රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඔස්සේ ප්‍රායෝගික සහ මානුෂීය විසඳුමකට එළඹීමට අපේක්ෂා කරන බව හෙතෙම පෙන්වා දුන්නේය.


විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ සුබසාධනය සහ ගෞරවය ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.


අදාළ කාන්තාව ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික සහ කොන්සියුලර් මාර්ග හරහා අඛණ්ඩව කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

More News..