ගුවන් යානාවේ දරු උපත
24 October 2026
ගුවන් යානාවේ දරු උපත
24 October 2026
රුසියානු සාහිත්ය කියවා ඇති අයට ‘කැකිරි දූපතේ දරු උපත’ කතාව මතකයේ ඇතුවාට සැක නැත. එවැනි කතාවක් ගිය සතියේ අපට අසන්නට ලැබුණේ ගුවන් යානාවකිනි.
මෙතෙක් කාලයක් අප අසා ඇත්තේ, දැක තිබුණේ ලෝකයේ වෙනත් රටවල බිලිඳුන් ගුවන් යානාවල උප්පත්තිය ලැබූ පුවත්ය. ඒත් පසුගියදා මෙරටේ බිලිඳකුත් ගුවන් යානයක උපත ලැබීය. ඒ කුවේට් රාජ්යයට අයත් ජසීරා ගුවන් සේවයට අයත් ගුවන් යානයකදීය.
කුවේටයේ සිට කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත ළඟාවෙමින් සිටි මේ ගුවන් යානයේ ගමන් කරමින් සිටි වයස අවුරුදු තිහක ශ්රී ලාංකික කාන්තාවක් මෙලෙසින් පිරිමි දරුවකු ප්රසූතකර තිබිණි. ත්රිකුණාමලයේ පදිංචිකාරියක වන ඇය ගෘහ සේවිකාවක් ලෙස රැකියාවේ නියුතු වීමට 2024 වසරේදී කුවේටය බලා ගොස් තිබිණි.
කුවේට් රාජ්යයේ ජසීරා ගුවන් සේවයට අයත් J 9 - 551 දරන ගුවන්යානය කුවේට් රාජ්යයෙන් ගුවන් ගමන් අරඹා ඇත්තේ අලුයම 2:52 කටය. එලෙස ගමන් කරමින් සිටියදී ස්වල්ප මොහොතකින් ශ්රී ලාංකික කාන්තාවට ප්රසූත වේදනාවක් දැනී තිබිණි.
එහිදී ඇය යම් අපහසුතාවකින් පෙළෙන බව දුටු ගුවන් සේවිකාවෝ ඇයගෙන් ඒ බව විමසා සිටියහ. තමා ප්රසව වේදනාවෙන් පසුවන බව ඈ ගුවන් සේවිකාවන්ට ඒ මොහොතේ දැනුම්දී තිබේ. ඒ අනුව ජසීරා ගුවන් සමාගමේ ගුවන් සේවිකාවන් මේ මවගේ සහයට පැමිණ ඇයට කිසිදු සංකූලතාවයකින් තොරව දරුවා බිහි කිරීමට ඉඩකඩ සලසා දුන්හ.
පසුව මව සහ දරුවා කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි පසු මෙරට ගුවන් තොටුපළ බලධාරීන් විසින් ඇයව මීගමු මහ රෝහල වෙත ඇතුළත් කර තිබිණි. කෙසේ වෙතත් කතාව එතනින් නවතින්නේ නැත. දැන් කතාව ගෙතෙන්නේ මව ගැන නොව දරුවා ගැනය.
ඒ දරුවාගේ උප්පැන්නට උපන් ස්ථානය ලෙස ලියවෙන්නේ කුමක්ද යන කාරණය නිසාය. පොතේ හැටියට දරු උපත වූ ස්ථානය උප්පැන්නයේ ලියැවිය යුතුය. ඉස්සර නම් මව්වරු දරුවන් ප්රසූත කළේ නිවසේය. ගැබිනියක දරු ප්රසූතියට ලක ලෑස්තිවන විට නිවසේ කාමරයක් වැදුම්ගෙයක් ලෙස සකස් කෙරුණි. ඒත් දැන් ගෙවල්වල දරු උපත් වෙන්නේ නැත. දරු ප්රසූතිය ළංවෙත්ම සියල්ලම යන්නේ රෝහලටය. එබැවින් දරුවා උපත ලද ස්ථානය ලෙස උප්පැන්නයේ ලියැවෙන්නේ රෝහලේ නමය. ඒ කතා කෙසේ වෙතත් විදේශ ගමන් බලපත්ර ගැනීමට පෝලිම් ඇතිවූ 2022 වසරේ හැටන් ප්රදේශයේ කාන්තාවකට ආගමන විගමන කන්තෝරුවේ ප්රසූත වේදනා දැනී රෝහල් ගත කළේ අනූනවයෙනි. එසේ නොවූයේ නම් ඇයගේ දරුවාගේ උපන් ස්ථානය බවට පත් වන්නට තිබුණේ පාස්පෝට් කන්තෝරුවයි.
ඒත් මව් රට මායිම් නොවූ ගුවන්යානයක උපත ලැබූ මේ බිලිඳා කුමන රටක පුරවැසියෙක්ද එසේත් නැතිනම් උපන් ස්ථානය කොහෙදීද යන ගැටලුව මතුවේ.
සාමාන්යයෙන් ගුවන්යානයක දරුවකු උපත ලැබූවිට ඒ සඳහා බලපාන ජාත්යන්තර නීති ක්රමවේද තුනක් ඇත. ඒ භූමියේ අයිතිය, ලේ නෑකමේ අයිතිය සහ යානය ලියාපදිංචි කළ රට යන තුන් නීතියයි.
මේවාට අනුව ගුවන් යානයක් තුළ උපදින දරුවකුගේ පුරවැසිභාවය හෝ උපන් රට තීරණයවේ. එහිදී පළමු නීතිය ලෙස ගැනෙන භූමියේ අයිතිය යටතේ යම්කිසි රටක ගුවන් සීමාවක් තුළදී දරුවා උපත ලැබුවහොත් ඒ ගුවන් සීමාව අයිති රටේ නීතියට අනුව එම ගුවන් සීමාවේ උපදින දරුවන්ට නිතැතින්ම එම රටේ පුරවැසිභාවය හිමි වේ. ඊට උදාහරණය ඇමරිකාව හා කැනඩාවයි. ඔවුන් සිය රටේ ගුවන් සීමාව තුළ උපදින දරුවන්ට තම රටේ පුරවැසි භාවය දීමට කටයුතු කෙරේ.
මෙහි දෙවැනි නීතිය වන්නේ ලේ නෑකමේ අයිතියයි. එනම් ලෝකයේ බහුතරයක් රටවල් දරුවා ගුවන් යානයක හෝ වෙනත් ස්ථානයක උප්පත්තිය ලැබුවත් දරුවාට පුරවැසි භාවය දෙන්නේ දරුවාගේ මවගේ හෝ පියාගේ පුරවැසිභාවය අනුවයි. එය ආසියානු රටවල දකින්නට ලැබෙන නීතියකි. එසේ නම් එය ශ්රී ලංකාවටත් පොදුවූ නීතියයි.
දරුවකු ගුවන් යානයකදී උපදින විට අනුගමනය කරන ප්රධාන නීති තුනකි. විශේෂම නීතිය වන්නේ යානය ලියාපදිංචි කළ රට සම්බන්ධයෙන් වූ නීතියයි. එය බලාත්මක වන්නේ දරුවා උපදින්නේ කුමන රටකට අයත් ගුවන්යානයකද කියන්නාවූ කාරණය හේතුවක් කර නොවේ. ඊට මග සැලසෙන්නේ දරුවා උපන්නේ කිසිදු රටකට අයිති නැති ජාත්යන්තර මුහුදු සීමාවකට ඉහළින් පිහිටි අවකාශයක නම් 1961 ගෙන ආ ජාත්යන්තර සම්මුතියට එම දරුවාට පුරවැසිභාවය හිමිවන්නේ දරුවා උපත ලැබූ ගුවන්යානය ලියාපදිංචි කර ඇති රටට අනුවය.
මේ ජාත්යන්තර නීති ත්රිත්වයට අනුව කුවේට් ගුවන් යානයේ ශ්රී ලාංකික මවකට උපත ලැබූ දරුවා අයිති වන්නේ ඔහුගේ මවගේ පුරවැසිභාවය හිමි ශ්රී ලංකාවටය. එහිදී උපන් ස්ථානය යන කොටසෙහි සඳහන් වන්නේ ශ්රී ලංකාව යනුවෙනි. මීට වසර කීපයකට පෙර තිරිකුණාමලයේ සිට කන්කසන්තුරේ බලා ගිය මගී නෞකාවක දරු ප්රසූතියක් විය. එම සිද්ධිය වූ මොහොතේ නැවේ කපිතාන්වරයා වහාම නාවික හමුදා වෛද්ය බළකායෙන් පණිවුඩ හුවමාර යන්ත්ර මගින් උපදෙස් පැතුවේය. ඔවුන් ලද උපදෙස් අනුව, ගැබිනි මවට අවශ්ය පහසුකම් දී දරුවා මෙලොවට ගැනීමට කපිතාන්වරයා සමත් විය. ඒ අතරේ නාවික හමුදා වෛද්යවරු පේදුරුතුඩුව ජැටියට වහාම පැමිණියහ. නැව ජැටියට පැමිණි පසු මවත් බිලිඳාත් සිය බාරයට ගත් වෛද්යවරු දෙදෙනාගේම දිවිය රැක ගැනීමට සමත් වූහ. එම දරුවා ඉපදුණු ස්ථානය ලෙස උප්පැන්නේ සඳහන් වූයේ ශ්රී ලංකාවට අයත් පේදුරුතුඩුව මුහුදේ නෞකාවක යනුවෙනි.
කෙසේ වෙතත් ලෝකයේ ගුවන් යානා හැත්තෑ තුනක දරු උපත් හැත්තෑ හතරක් සිදුවී තිබේ. ඒ අතරේ ගුවන් යානයක උපත ලැබීම නිසා ජීවිත කාලය පුරාම නොමිලේ ගුවනින් යාමට වාසනාව ලැබුණු දරුවකු සිටින්නේ ඉන්දියාවේය.
මේ දරුවා උපත ලබන්නේ සෞදි අරාබියේ සිට ඉන්දියාව දක්වා ගමන් ගන්නා ගුවන් යානයක 2017 වසරේදීය. මේ දරුවා උපත ලැබූවේ ඉන්දියාවේ පෞද්ගලික ගුවන් සේවයක් වන ජෙට් එයාර්වේස් ගුවන් යානයට අයත් ගුවන්යානයකය. එහෙයින් මේ ගුවන් සේවයට අයත් ගුවන් යානයක උපත ලැබූ පළමු දරුවා ඔහු වන බැවින් ඉන්දීය ගුවන් සේවය තීරණය කර ඇත්තේ බිලිඳාට දෙන තෑග්ගක් ලෙස ජීවිත කාලය පුරාම නොමිලේ ගුවන් ටිකට් පත් තෑගි කිරීමටය. මේ බිලිඳා ගුවන්යානයක උපත ලැබූ වාසනාවන්තම බිලිඳාය.
ලෝක ඉතිහාසයේ ගුවන් යානයක උපත ලැබූ පළමු දරුවා වන්නේ එයාර්ලීන් එවන්ස් ය. ඔහුගේ නම තබා ඇත්තෙත් ඒ ගුවන් ගමන සිහිපත් කිරීමක් ලෙසය. මේ දරුවා උපත ලබන්නේ 1929 ඔක්තෝබර් 26 වැනිදා ෆ්ලොරිඩාවේ බිස්කේන් බොක්ක සීමාවේදීය. ඒ වන විට ඔහුගේ මව්පියන් ගමන් කර තිබුණේ පෑන් ඇමරිකන් එයාර්වේස් සමාගමට අයත් 'ෆොකර් ට්රයිමෝටර්' වර්ගයේ ගුවන් යානයකය. මේ ගුවන්යානයක ඉපැදුණු පළමු දරුවාගේ උපත ඔහුගේ මහාචාර්ය දෙමාපියන් විසින් සිදුකළ සැලසුම් සහගත ක්රියාවක් බවත් පසුව වාර්තාවිය.
කෙසේවෙතත් ලෝක ඉතිහාසයට මෙරටිනුත් දරුවකුත් එකතු විය. ඒ මෙරට ඉතිහාසයේ වාණිජ ගුවන් යානයක් තුළ උපත ලැබූ පළමු දරුවා බවටත් පත් වෙමිනි.
හර්ෂණී දිසානායක

