ගමේ තරුණයන් අවධානයෙන් ඉඳලා යටවෙන්න ගිය ගම් දෙකක ජීවිත බේරෙයි
05 December 2025
ගමේ තරුණයන් අවධානයෙන් ඉඳලා යටවෙන්න ගිය ගම් දෙකක ජීවිත බේරෙයි
05 December 2025
දිට්වා සුළි කුණාටුවත් සමග රට තුළ ඇතිවූ ව්‍යසනකාරී තත්ත්වයෙන් සිය ගණනකට දිවි අහිමි වූවා පමණක් නොව තවත් සිය ගණනක් පස්යට වැළලී අතුරුදන් විය. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් විය. එසේම බොහෝ දෙනකුට නිවාස යාන වාහන ද අහිමි විය. මේ ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ ආපදා කණ්ඩායම්, රාජ්‍ය නිලධාරින්, ත්‍රිවිද හමුදාව, සෞඛ්‍ය කාර්යමණ්ඩල මෙන්ම ග්‍රාම නිලධාරින් ද දැඩි කැපකිරීමක් කරනු දක්නට ලැබේ. මේ කතාව ධාරාණිපාත වර්ෂාවත් සමග ගම්මානයක්ම වැළලී සිදුවීමට ගිය විසල් අනතුරක් වළක්වාගත් ග්‍රාම නිලධාරිවරයකු ඇතුළු තරුණ කැලක් ගැනය. ඒ කතාව අසන්නට ලැබුණේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෑතලාව හා මස්පන්න ප්‍රදේශයෙනි. ඒ මෙහෙයුමේ ප්‍රමුඛයා වන්නේ මස්පන්න ග්‍රාම නිලධාරී එච්.එම් චානක සුරවීරය.
වෑතලාව හා මස්පන්න ග්‍රාම නිලධාරි වසම් පවුල් හාරසිය පනහක් පමණ පදිංචි වසම් දෙකකි. මෙම ප්‍රදේශය වැලිමඩ නගරයේ සිට කිලෝමීටර් 34 ක් දුරින් පිහිටා ඇත්තේය. පසුගිය 26 වැනිදා ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාවත් සමග ප්‍රදේශයේ විදුලියද විසන්දි වී ගියේය. ඒ පස්වරු 2 ට පමණය. විදුලිය විසන්දි වීමත් සමග ප්‍රදේශයේ දුරකතන සබදතා ද බිද වැටිණි. එසේ තිබියෙදී වෑතලාව ග්‍රාම නිලධාරී චානක සුරවීරගේ නිවසට 27 වැනිදා අලුයම 05.30 ට පමණ ප්‍රදේශවාසී පුද්ගලයකු දිව ආවේය. ඒ වෑතලාව බක්මීගොල්ල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී දෙදෙනෙකු අතුරුදන් බවට සහ නිවැසියන් සිව්දෙනකු බේරාගත් බවට පණිවුඩය කීමටය.
විනාඩි පහක් වැනි කෙටි කාලයක් තුළ එම පුද්ගලයා සමගින් අදාළ ස්ථානයට ගිය ග්‍රාම නිලධාරිවරයාට ප්‍රදේශයේ පවතින අවධානම් තත්ත්වය ගැන ඉව වැටුණු අතර ඇතැම් ස්ථාන ඒ වනවිටත් නාය යමින් තිබී ඇත. ඒ අනුව නාය යාමට ලක්වූ බක්මීගොල්ල ප්‍රදේශයේ සිටි පිරිස් කඩිනමින් මස්පන්න ගලනිය පාසලට යොමු කිරීමට ග්‍රාම නිලධාරිවරයා ප්‍රමුඛ කණ්ඩායම පියවර ගෙන තිබුණි.
ඔවුන් සුරක්ෂිත මධ්‍යස්ථානයකට යොමුකිරීමෙන් පසුද එහි තවත් ස්ථාන නාය යන්නට පටන්ගෙන ඇත. විශේෂයෙන් ග්‍රාම නිලධාරිවරයාගේ කාර්යාලය අසලත් මස්පන්න නගර සීමාවත් ක්‍රමානුකූලව නාය යමින් පැවතිණි. මුළු ගම්මානයක්ම වැළලී යන තත්ත්වයෙන් අනාරක්ෂිත වී තිබූ අතර ඌව පරණගම ප්‍රාදේශීය ලේකම්වරයාද උපදෙස් දී තිබුණේ ප්‍රදේශවාසීන් කඩිනමින් ආරක්ෂිත ස්ථාන කරා යොමුකරන ලෙසය.
''ගම්මුන්ට දුරකතන මගින් පණිවුඩ කියන්න විදිහක් තිබුණේ නැහැ. මගෙත් එක්ක ප්‍රදේශයේ සංවර්ධන නිලධාරීනිය, සමෘද්ධි නිලධාරින් දෙදෙනා වගේම ගමේ ක්‍රියාශීලී තරුණ කැලත් හිටියා. අපිට අතීතයේ වූ සන්නිවේදන ක්‍රම භාවිතා කරන්න වුණා මේ ගම්මුන්ට පණිවුඩය දෙන්න. ඒ අනුව කොල්ලො ටික ගම්වටා දුවමින් කෑ ගසමින් නාය අවධානම ගැන ගම්මුන්ට සැල කළා. ඒ අනුව පවුල් සියයකට ආසන්න පිරිසක් වැලිගම විහාරය, මැදවත්ත පංසල කියන මධ්‍යස්ථානවල රැඳවීමට පියවර ගන්න පුළුවන් වුණා. ගමේ මේ අයගේ සහාය නිසා තමයි මේ කර්තව්‍ය කරන්න පුළුවන් වුණේ. ඒ අනුව 27 වැනිදා සවස් වනවිට අවධානමේ සිටි පවුල් සියල්ලම පාහේ ආරක්ෂිත තැන්වල ස්ථානගත කරන්න පුළුවන් වුණා. කට්ටිය අයින් කරලා වැඩි වෙලාවක් ගියේ නැහැ ඒ පැත්තම පස්වලට යටවුණා. අපි සැක කල විදිහටම මස්පන්න නගරය වගේම අවධානම් බවට හඳුනාගත් ප්‍රදේශය නායෙන් යටවුණා. මස්පන්න බස් නැවතුම්පොළ, වෙළෙඳසල්, තැපැල් කාර්යාලය ඇතුළු ස්ථාන ගණනාවක්ම පස්වලට යටවුණා. ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථ තුනක්ද මේ ආකාරයෙන් යටවී තිබුණා. 27 වැනිදා දවල් දෙකේ ඉදන් අද වෙනකල්ම මෙහෙ විදුලි සැපයුම ඇණ හිටිලා.'' යැයි වෑතලාව ග්‍රාම නිලධරී චානක සුරවීර පැවසීය.

