brand logo
logo
උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා විකිණූ වෙළෙඳසැලකට ලක්ෂ 5ක දඩයක්

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා විකිණූ වෙළෙඳසැලකට ලක්ෂ 5ක දඩයක්

01 October 2026


උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන්, බදුල්ල නගරයේ වෙළෙඳ ආයතනයකට අධිකරණය විසින් රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර ඇත.


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 20(5) වගන්තිය යටතේ නිකුත් කර ඇති, 2024.12.09 දිනැති අංක 2414/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 90 නියෝගයට අනුව, දේශීය කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක උපරිම තොග මිල රු. 255ක් සහ උපරිම සිල්ලර මිල රු. 260ක් ලෙස නියම කර තිබේ.


මෙම නියෝගය 2024 දෙසැම්බර් 09 වන දින සිට ක්‍රියාත්මක වේ.


අදාළ වෙළෙඳ ආයතනය විසින් කීරි සම්බා කිලෝග්‍රෑම් 5ක ඇසුරුමක් නියමිත උපරිම සිල්ලර මිල වන රු. 1,300 වෙනුවට රු. 1,850කට අලෙවි කර ඇත.


ඒ අනුව කිලෝග්‍රෑම් එකක් සඳහා නියමිත රු. 260 වෙනුවට රු. 370 බැගින්, එනම් කිලෝග්‍රෑම් එකකට රු. 110 බැගින් වැඩිපුර අය කර ඇති අතර, කිලෝග්‍රෑම් 5ක ඇසුරුම සඳහා වැඩිපුර අය කර ඇති මුළු මුදල රු. 550කි.


අදාළ නඩුව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම වරද පිළිගෙන ඇති අතර, ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් 500,000ක දඩයක් නියම කරන ලදී.


පාලන මිලක් නියම කර ඇති සහල් වර්ග අලෙවි කිරීමේදී, ගැසට් පත්‍රය මඟින් නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා මුදල් අය කිරීමෙන් වළකින ලෙස පාරිභෝගික අධිකාරිය වෙළෙඳුන්ගෙන් ඉල්ලීමක් කර සිටී.


පාලන මිල ඉක්මවා අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවද ඔවුන් වැඩිදුරටත් දැනුම් දී ඇත.


එමෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ සහල් මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් අදාළ සහල් වර්ගය සහ ඊට නියම කර ඇති උපරිම සිල්ලර මිල පිළිබඳව සැලකිලිමත් විය යුතු බවය.


පාලන මිල ඉක්මවා සහල් හෝ භාණ්ඩ අලෙවි කිරීම පිළිබඳ තොරතුරු, 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලීමක් කර සිටී.

 

More News..