brand logo
logo
 වත්මන් තත්ත්වය ගැන ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

වත්මන් තත්ත්වය ගැන ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

16 March 2026


රට තුළ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙන්ම ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් අද (16) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.


ඒ, මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ මේ වන විට බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමිනි.


මෙම සාකච්ඡාව සඳහා අදාළ අමාත්‍යවරු සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. 


එහිදී බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.


මෙම සාකච්ඡාවේදී උද්ගතව ඇති තත්ත්වය හමුවේ රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.


රජයේ කාර්යාල පවත්වා ගෙන යාමේදී අනුගමනය කළ හැකි විකල්ප ක්‍රමවේද පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


රාජ්‍ය සේවය සඳහා එක් දිනක නිවාඩුවක් ලබාදීම තුළින්, බලශක්ති පරිභෝජනය සීමා කරමින් සේවා පවත්වාගෙන යාම පිළිබඳව ද එහිදී සාකච්ඡා කර ඇත. 


අධ්‍යාපන, සෞඛ්‍යය, සංචාරක, ධීවර, කර්මාන්ත, කෘෂිකර්ම, වරාය හා නාවික කටයුතු, ගුවන්තොටුපොළ සේවා සහ ඩිජිටල් සේවා ආදී ක්ෂේත්‍රයන්හි සුවිශේෂත්වය සහ ප්‍රායෝගික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අවම බලශක්ති පරිභෝජනයක් සහතික වන පරිදි එම සේවා පවත්වාගෙන යාමට මේ මොහොතේ ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී විමසා බැලූ බව සඳහන්ය. 


ප්‍රධාන ක්ෂේත්‍රවල සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය තීරණය කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන් සහ එම ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් අද දිනය තුළම වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.


එමෙන්ම, මෙවැනි තත්ත්වයකදී නිවසේ සිට රාජකාරී කිරීමේ ප්‍රායෝගික හැකියාව පිළිබඳ අමාත්‍යාංශ මට්ටමින් තීන්දු තීරණ ගැනීමේ වැදගත්කම අවධානයට ලක් වූ අතර නිලධාරීන් සේවා ස්ථානය වෙත කැඳවීම පිළිබඳ තීන්දු තීරණ ගැනීම ආයතන ප්‍රධානියා වෙත පැවරීමටත්, සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කිරීමටත් යෝජනා කර තිබේ.


මතුවී ඇති තත්ත්වය හමුවේ කෘෂිකර්ම කටයුතුවලදී ගොවි ජනතාව සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය.


පවතින තත්ත්වය හමුවේ රටේ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් අවම කර ගැනීමට සියලු දෙනාගේ දායකත්වය සහ කැපවීම අවශ්‍ය බවත්, එහිදී යම් පිරිසකට සහනාධාර ක්‍රම මගින් පහසුකම් සැපයීමට සිදුවනු ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


QR ක්‍රමය හඳුන්වාදීමේ අපේක්ෂාව වන්නේ දෛනික ඉන්ධන පරිභෝජනය පවතින අභියෝගයන්ට අදාළව කළමනාකරණය කිරීම බවද මෙහිදී සඳහන් කෙරිණි.


එමගින් දෛනිකව ලැබෙන මිණුම් විශ්ලේෂණය කරමින් රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු වන පරිදි ආර්ථික සහ සේවා කටයුතු සඳහා ඉන්ධන මුදාහැරීමේ වැදගත්කම අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. 


ඉන්ධන සැපයුමේදී QR ක්‍රමය විධිමත් අයුරින් භාවිත කිරීමේ වැදගත්කමත්, ඒ සඳහා එක් එක් අමාත්‍යාංශ මට්ටමින් අවශ්‍ය සියලු දත්ත හැකි කඩිනමින් ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයට ලබාදීමටත් මෙහිදී සාකච්ඡා කර ඇත.


ඒ අනුව අදාළ අමාත්‍යාංශ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව QR ක්‍රමය වඩාත් විධිමත් කිරීමටද යෝජනා විය. 


මතුව ඇති තත්ත්වය හමුවේ රාජ්‍ය උත්සව තාවකාලිකව නතර කිරීමටත්, රජය මේ සම්බන්ධව ඉදිරියේදී තවදුරටත් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ පෞද්ගලික අංශය දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳවත් මෙහිදී යෝජනා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

 

More News..