brand logo
logo
විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයේ  8 වන දිනය අද

විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයේ 8 වන දිනය අද

23 October 2026

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයේ 8වන දිනය අද (23) වේ.


පසුගිය 16 වැනිදා විහාර මහාදේවි උද්‍යානයට වැඩම කළ ස්වාමින් වහන්සේලා විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ අතර, එදින සිට මේ දක්වාම උන් වහන්සේලා ඇතුළු පිරිස එම භූමියේ රැඳී සිටියි.


කෙසේ නමුත් මෙම විරෝධතාව පැවැත්වෙන භූමියෙන් ඉවත්වන ලෙස ඊයේ (22) අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළේය.

කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර ඇත.


ඒ අනුව විරෝධතාවට එක්ව සිටින පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලාට මෙන්ම සිවිල් ක්‍රියාකාරීන්ට සහ විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයින්ට මෙම නියෝගය අදාළ වේ.


එම නියෝගයට අනුව විහාර මහාදේවී උද්‍යානයේ බුදු පිළිමය අසල පරිශ්‍රය, ඇවිදින මංතීරු සහ එෆ්.ආර්. සේනානායක මාවත, ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම, ධර්මපාල මාවත, කන්නන්ගර මාවත, ග්‍රීන් පාත් සහ මල් පාර ඇතුළු මාර්ග අවහිර කිරීමෙන් වළකින ලෙස දැනුම් දී තිබේ.

 

More News..