2027 අප්‍රේල් සිට වස විස සහිත පලතුරු වික්කොත් වැඩ වරදී
01 October 2026
2027 අප්‍රේල් සිට වස විස සහිත පලතුරු වික්කොත් වැඩ වරදී
01 October 2026
වස විස සහිත පලතුරු අලෙවි කරනු ලබන වෙළෙන්දන්ට එරෙහිව ලබන වසරේ අප්‍රේල් මාසයේ 01 වනදා සිට නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
අද (01) කොළඹදී පැවැති ‘‘වස විසෙන් තොර පලතුරු දරුවන්ට‘‘ යන තේමාව යටතේ වන ජාතික වැඩපිවෙළිළ ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ඔක්තෝබර් 01 වනදා සිට දිවයින පුරා පිහිටි පලතුරු වෙළඳසැල් සහ තොග බෙදාහරින්නන් ලියාපදිංචි කිරීම සහ දැනුවත් කිරීමේ කටයුතු ආරම්භ කරන බවය.
වස විස භාවිතයෙන් තොරව පලතුරු ඉඳවා ගැනීම, වස විස යෙදීමකින් තොරව ගොවිපළවලින් පලතුරු නෙළා ගැනීම සහ පාරිභෝගිකයා වෙත විශ්වාසවන්ත ලෙස බෙදා හැරීම සම්බන්ධයෙන් වෙළෙඳුන් සමඟ සාකච්ඡා කර ඔවුන්ව මෙම වැඩපිළිවෙළට පෙළගැස්වීමට නියමිතය.
ලබන මාර්තු මාසය වන විට පාරිභෝගික සේවා අධිකාරිය මඟින් වස විසෙන් තොර පලතුරු අලෙවි කරන ව්‍යාපාර හඳුනාගෙන, ඒ සඳහා වන විශේෂ සහතික පත්‍රයක් ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ දිවයින පුරා පිහිටි පලතුරු වෙළඳසැල් සිතියම්ගත කොට, QR කේතයක් ඔස්සේ වස විසෙන් තොර පලතුරු අලෙවි කරන ස්ථාන සොයා ගැනීමට හැකි පරිදි නව ක්‍රමවේදයක් ද සකස් කරන බවය.
ලබන අප්‍රේල් 01 වනදා සිට වස විස සහිත පලතුරු අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා,
"මේ ඔක්තෝබර් පළවෙනිදා පටන් ගත්තාම රට පුරා තියෙන පලතුරු වෙළඳසැල් සහ තොග බෙදාහරින්නන් ලියාපදිංචි කරන්න, දැනුවත් කිරීම් කරන්න කටයුතු කරනවා. කොහොමද වස විස නැතුව පලතුරු ඉදවන්නේ, වස විස යොදන්න ඕනේ නැති පලතුරු කොහොමද ගොවිපළෙන් නෙළාගන්නේ, ඒක කොහොමද පාරිභෝගිකයා අතරට පත්කිරීමේදී විශ්වාසවන්තව ගෙනියන්නේ කියන කාරණය අපි ඔවුන් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ව පෙළගස්වන්න සූදානම් වෙනවා. අපේ අවසාන ඉලක්කය, ලබන මාර්තු මාසය වන විට පාරිභෝගික සේවා අධිකාරියෙන් අපි සිදුකරන ව්‍යාපාරය අව්‍යාජව වස විසෙන් තොර පලතුරු විකුණන ව්‍යාපාරයක් බවට සහතික කරපු සහතික පත්‍රයක් ලබාදෙන්න කටයුතු කරනවා. රට පුරා තියෙන පලතුරු වෙළඳසැල් සිතියම්ගත කරලා, ඒ QR කෝඩ් එකක් හරහා ගියපුවාම වස විසෙන් තොර පලතුරු අලෙවි කරන්නේ කොතැනද කියන කාරණය සොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ලබන අප්‍රේල් මාසේ පළවෙනිදා සිට වස විස සහිත පලතුරු විකුණන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන රටේ පවතින නීති, ඒ වගේම අපි අවශ්‍ය කරන ගැසට් පත්‍ර මඟින් පාරිභෝගිකයාට සලසන්න අවශ්‍ය ඒ නීතිමය ක්‍රියාමාර්ගත් ඉස්සරහට ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා."

