brand logo
logo
හක්ගල උද්භිද උද්‍යානය ආශ්‍රිතව නව සංවර්ධන ව්‍යාපෘති රැසක්

හක්ගල උද්භිද උද්‍යානය ආශ්‍රිතව නව සංවර්ධන ව්‍යාපෘති රැසක්

30 August 2026


පරිසර සංරක්ෂණය තහවුරු කරමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් හක්ගල උද්භිද උද්‍යානය ආශ්‍රිතව නව සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ.


ඒ සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් හක්ගල උද්භිද උද්‍යානයේ විශේෂ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක් ද සිදුකරන ලදී.


මෙහිදී ප්‍රධාන සංවර්ධන යෝජනා කිහිපයක් පිළිබඳව අවධානය යොමුව ඇත.


හක්ගල ප්‍රදේශයට ආවේණික වූ විශේෂ ශාක වර්ග සංරක්ෂණය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් සහ ඒ ආශ්‍රිත පර්යේෂණ සිදු කිරීම සඳහා මූලික විද්‍යාගාරයක් (Basic Laboratory) ස්ථාපිත කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය සැලසුම් සැකසීමටත් මූලික සාකච්ඡා පවත්වා තිබේ.


එමෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගනිමින්, ස්වභාවික සෞන්දර්යය සුරැකෙන පරිදි නව ඇවිදින මංතීරු (Walking Trails) සහ කුඩා අඩිපාරවල් ඔස්සේ නිර්මාණය වන නව පරිසර කලාපයක් ස්ථාපිත කිරීමට නියමිතය.


හඳුනාගත් දුර්ලභ හා ආවේණික ශාක විශේෂ සංරක්ෂණය උදෙසා හරිතාගාර ඉදි කරන අතර, එම ශාක හා සත්ත්ව විශේෂ පිළිබඳ තොරතුරු අධ්‍යයනය කිරීමට මහජනතාවට සහ පර්යේෂකයන්ට අවශ්‍ය පහසුකම් සැලසේ.


ස්වභාවික පරිසරයට කිසිදු හානියක් සිදු නොවන පරිදි, ස්වභාවධර්මයේ සුවය විඳිමින් නිදහසේ කාලය ගත කළ හැකි 'ශුන්‍ය විමෝචන' (Zero Emission) කලාපයක් ලෙස මෙම පරිශ්‍රය සංවර්ධනය කිරීමට නියමිත බව සඳහන් වේ.


ස්වභාවික පරිසර පද්ධතියට හානියක් නොවන අයුරින් තිරසර සංචාරක කර්මාන්තය නංවාලීම සහ කඳුකර ජෛව විවිධත්වය අනාගත පරපුර වෙනුවෙන් සුරැකීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ වී ඇත.

 

 

More News..