brand logo
logo
තවත් දළ ඇතෙකු මියයෑමත් සමඟ විපක්ෂ නායකගෙන් දැඩි ඉල්ලීමක්

තවත් දළ ඇතෙකු මියයෑමත් සමඟ විපක්ෂ නායකගෙන් දැඩි ඉල්ලීමක්

01 November 2026

තවත් දළ ඇතෙකු මියයෑමේ සිද්ධියක් වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවේ වල්අලි සහ වනජීවී සම්පත තවදුරටත් විනාශ වීම වැළැක්වීම සඳහා සාමූහික ක්‍රියාමාර්ක සහ ජාතික එකමුතුවක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.


මෙම සිදුවීම ඉතාම පිළිකුල් නින්දිත ක්‍රියාවක් ලෙස හෙළා දකිමින් විපක්ෂ නායකවරයා සිය ‘එක්ස්’ ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, දිගින් දිගගටම සිදුවන වන අලි ගහනයේ විනාශයට එරෙහිව කඩිනම් සහ දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවය.


“මෙම විනාශය වැළැක්වීමට අපි එකතු වෙමු” යැයි ඉල්ලා සිටින ඔහු, වනජීවී සම්පත් ආරක්ෂා කර ගැනීමට සහ ඊට වගකිවයුත්තන් නීතිය ඉදිරියට පැමිණවීමට සියලු පාර්ශ්වයන් එකව අත්වැල් බැඳගන්නා ලෙස ද ඉල්ලා සිටී.


විශේෂයෙන්ම මෙම අපරාධකරුවන් “පරිසර තස්‍රවාදීන්” ලෙස හඳුන්වා දී ඇති ඔහු, ඔවුන් නීතිය ඉදිරියට පමුණුවා උපරිම දඬුවම් ලබා දෙන ලෙසටද දැඩි ලෙස අවධාරණය කරයි.


කහටගස්දිගිලිය, මීමින්නාවල ප්‍රදේශයේ කායන්ගොල්ලෑව වැවට යාබඳ කුඹුරක් ආසන්නයේ පිහිටි කැලෑබඳ කොටසක තිබී අද (01) වන ඇතකුගේ මළ සිරුරක් සොයාගෙන තිබුණි.


කහටගස්දිගිලිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම මළ සිරුර සොයාගත් අතර, එහිදී මියගිය දළ ඇතාගේ වම් දළය අතුරුදන්ව තිබූ බව නිරීක්ෂණය වී ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය වනජීවී කාර්යාලය, දියුල්වැව පොලිසිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව ඉදිරි විමර්ශන මෙහෙයවමින් සිටී.


ප්‍රසිද්ධ දළ ඇතෙකු වූ 'කාවන්තිස්ස' මියගොස් මසක් ගතවීමටත් මත්තෙන් මෙලෙස තවත් දළ ඇතෙකු මියයෑම ශ්‍රී ලංකාවේ වන අලි ගහනයට සිදුවූ තවත් දැඩි හා හද කම්පා කරවන අපරාධයකි.

 

More News..