brand logo
logo
ගුරුවරුන්ට ඉගැන්වීමට  ‘ලයිසන්’ අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට ‘ලයිසන්’ අනිවාර්යයි

29 August 2026

යෝජිත ජාතික අධ්‍යාපන සභාව පිහිටුවීමෙන් පසු පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ද ඇතුළු සියලු ගුරුවරුන් ඉගැන්වීමේ බලපත්‍රයක් ලබාගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පද්ධතියට සුදුසු ගුරුවරයකු ලෙස සැලකෙන්නේ එම බලපත්‍රය ලබා ගැනීමෙන් පසුව බවද එම නිලධාරියා පැවසීය. මේ අතර ආචාර්ය උපාධියක් ලබන ගුරුවරයකුගේ මූලික වැටුප විශ්වවිද්‍යාල ආචාර්යවරයකුගේ මූලික වැටුප හා සම කිරීමට යෝජිතව ඇතැයිද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.


මෙම පියවර ගැනීමට යෝජනා කර ඇත්තේ දක්ෂ ගුරුවරුන් පද්ධතියේ රඳවා ගැනීම සඳහාය. එම පියවරෙන් පසු ගුරුවරයාගේ හා විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ වැටුප වෙනස් වන්නේ දීමනාවලින් පමණි. රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී කෙරෙන අයකිරීම් සම්බන්ධයෙන් ද ප්‍රමිතියක් ඇති කිරීමට යෝජිත වන අතර එම පාසල් සම්බන්ධයෙන් නියාමන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට නියමිත බවත්, එම නිලධාරියා සඳහන් කළේය.


මෙම සභාව පිහිටුවීමෙන් පසු ඉදිරියට ගුරුවරුන් ලෙස බඳවා ගැනෙන්නේ උපාධිධාරීන් පමණි. තමන්ට හිතූ හිතූ දේ කරන ක්‍රමය අධ්‍යාපන පද්ධතියෙන් ඉවත් කළ යුතු බවත්, මෙවැනි පාලනයක් පද්ධතියට අවශ්‍ය බවත් ඉහත කරුණු දැක්වූ නිලධාරියා පැවසීය. ගුරු, ගුරු උපදේශක, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ හා අධ්‍යාපන පරිපාලන යන සාමාන්‍ය අධ්‍යාපනයේ සියලු වෘත්තීය කාණ්ඩවලට අදාළව ස්ථාපිත කෙරෙන මෙම සභාවේ සභාපති පත් කෙරෙන්නේ ජනාධිපතිවරයා විසිනි. අදාළ පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

 

More News..