brand logo
logo
එල්-නිනෝ නිසා ආහාර හා බලශක්ති උද්ධමනය උඩ යයි

එල්-නිනෝ නිසා ආහාර හා බලශක්ති උද්ධමනය උඩ යයි

15 August 2026 | සාලිය කුමාර ගුණසේකර

එල්-නිනෝ ඇතුළු අහිතකර කාලගුණික තත්ත්වයන් ඇති වුණොත් එමගින් කෘෂිකාර්මික නිෂ්පාදනයට සහ ජලවිදුලි උත්පාදනයට බාධා ඇතිවිය හැකි බවත් ඒ හේතුවෙන් ආහාර හා බලශක්ති උද්ධමනය මත ඉහළ පීඩන ඇතිවිය හැකි බවටත් ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවයි.


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ​ෙමම වසරට (2026) අදාළව නිකුත් කරන ලද දෙවන මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ මේ බව සඳහන්කර තිබේ.


දේශීය වශයෙන් ඇතිවිය හැකි අහිතකර කාලගුණික තත්ත්වයන්, භූ දේශපාලනික අර්බුදකාරී තත්ත්වයන් නැවත ඇතිවීම සහ ඒ ආශ්‍රිතව ගෝලීය ආර්ථිකයට ඇතිවිය හැකි වෙළෙඳ භාණ්ඩ මිල කම්පන ආදී කරුණු නිසා ඉදිරි කාලයේදී දේශීය ආර්ථික කාර්යසාධනය කෙරෙහි අඛණ්ඩව බලපෑම් ඇතිවිය හැකි බවද එම වාර්තාවේ සඳහන්කර ඇත.


තවද කාලගුණය ආශ්‍රිත අවිනිශ්චිතතා හේතුවෙන් විදුලි උත්පාදන පිරිවැය ඉහළ යෑම හරහා බලශක්ති උද්ධමනයේ ඉදිරි දැක්ම කෙරෙහි බලපානු ඇතැයිද එහි දැක්වේ.


මේ අතර මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට හතරේ (4%) සිට පහ (5%) දක්වා පාරාසයේ පවතිනු ඇතැයි පුරෝකථනය කෙරෙන බවත් එනමුත් භූ දේශපාලනික ප්‍රවණතා සහ වෙනස් වන දේශීය සහ විදේශීය තත්ත්ව මෙන්ම දේශගුණික අවදානම මගින් ඇතිවිය හැකි බලපෑම් හේතුවෙන් ඉදිරි දැක්ම පිළිබඳ තවදුරටත් ඉහළ අවිනිශ්චිතතා පවතින බවත් එම මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන්කර ඇත.

තවද බලශක්තිය සහ ප්‍රවාහන උද්ධමනය ඉහළ යෑම, විනිමය අනුපාතික වෙනස්වීමේ බලපෑම් ආනයනික මිල ගණන් වෙත සම්ප්‍රේෂණය වීම, ආහාර උද්ධමනය ඉහළ යෑම ආදී බලපෑම් හේතුවෙන් මතුපිට උද්ධමනය නුදුරු කාලයේදී ඉලක්කගත මට්ටමට වඩා ඉහළ අගයක පවතිනු ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. ඉන් අනතුරුව මතුපිට උද්ධමනය ඉලක්කගත මට්ටම දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි ද පුරෝකථනය කෙරේ.


එමෙන්ම නුදුරු කාලීනව බලශක්ති සහ ප්‍රවාහන උද්ධමනයද ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.


කෙසේ නමුත් මැදපෙරදිග අර්බුදකාරී තත්ත්වයේ බලපෑම් සහ එමගින් ඇති කරන වක්‍ර බලපෑම් ක්‍රමයෙන් පහව යනු ඇතැයි යන උපකල්පන මත පදනම්ව පුරෝකථන කාල සීමාවේ ඉතිරි කාලය තුළ බලශක්ති සහ ප්‍රවාහන උද්ධමනය ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ අතර මෙම වසරේ පෙබරවාරි මස අග භාගයේ සිට මැදපෙරදිග කලාපයේ පවතින භූ දේශපාලනික ආතතීන් උත්සන්නවීම හේතුවෙන් විදේශීය අංශය දැඩි අභියෝගකාරී තත්ත්වයන්ට මෙන්ම ඉහළ විචලනයන්ට මුහුණ දුන් බවත් එහි බලපෑම් දේශීය ආර්ථිකයට එල්ලවීම මධ්‍යයේ වුවද ජනවාරි සිට මේ දක්වා කාලයේදී ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වයන් බොහෝ දුරට ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කළ බවද අදාළ වාර්තාව මගින් අනාවරණය කරයි.

මෙම වසරේ පළමු කාර්තුවේදී සියයට දෙකක (2%) ආසන්න සාමාන්‍ය අගයක පැවැති මතුපිට උද්ධමනය එතැන් සිට සීඝ්‍රයෙන් ඉහළ ගොස් උද්ධමන ඉලක්කයට වඩා ඉහළ මට්ටමකට ළඟාවූ බවත් ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ යෑමේ බලපෑම හේතුවෙන් දේශීය ඉන්ධන සහ බලශක්ති මිල ගණන් වෙත ක්ෂණිකව සම්ප්‍රේෂණය වීම නිසා අනෙකුත් අංශවලට වක්‍ර බලපෑම් එල්ලවූ බවත් එම වාර්තාවේ තවදුරටත් දැක්වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති වාර්තාව වසරකට දෙවරක් නිකුත් කරන අතර පළමු වාර්තාව නිකුත් කරනු ලැබුවේ ඉකුත් පෙබරවාරි මාසයේදීය. දෙවැනි වාර්තාව අගෝස්තු මාසයේදී නිකුත් කෙරිණි.

 

More News..