Best News Website award
brand logo
logo
අධික වැසි මැද මධ්‍යම කඳුකරයට භූ චලන අවදානමක්

අධික වැසි මැද මධ්‍යම කඳුකරයට භූ චලන අවදානමක්

25 November 2026

පවතින අධික වැසි හේතුවෙන් මධ්‍යම කඳුකර ආශ්‍රිතව සුළු භූ චලන ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් විය යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුළ සේනාරත්න මහතා පවසයි.


අධික වර්ෂාපතනයත් සමඟ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් පිරී යාමෙන්, ඒවාට යටින් ඇති පාෂාණ ස්ථර මත වැඩි පීඩනයක් ඇති වන බව ඔහු පෙන්වා දෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස පාෂාණ ස්ථරවල පවතින පැලුම් තල ඔස්සේ සුළු චලනයන් සිදුවී භූ කම්පන තත්ත්වයන් හටගැනීමේ සම්භාවිතාවක් පවතින බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


පසුගිය වසර 5ත් 6ත් අතර කාලය තුළ මධ්‍යම කඳුකරයෙන් මෙවැනි භූ කම්පන වාර්තා වී ඇති බවත්, ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන බවත් මහාචාර්යවරයා පැවසීය.


එමෙන්ම, මෙරට භූ කම්පන නිරීක්ෂණය කිරීම සඳහා මීට පෙර පැවති කම්පන මාන හතරක සංඛ්‍යාව මේ වන විට 13ත් 14ත් අතර ප්‍රමාණයක් දක්වා ඉහළ නංවා ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


මේ අතර, ඉන්දියානු සාගරයේ මොරිෂස් කලාපය ආසන්නයේ ඊයේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය සම්බන්ධයෙන් ද මහාචාර්ය අතුළ සේනාරත්න මහතා අදහස් පළ කළේය.

ඔහු පෙන්වා දෙන්නේ එම භූ කම්පනය සිදුව ඇත්තේ ඉන්දීය සහ ඔස්ට්‍රේලියානු භූ තැටිවල බටහිර මායිමට ආසන්නව ශ්‍රී ලංකාවෙන් බොහෝ දුරින් පිහිටි ගැඹුරු මුහුදු ප්‍රදේශයක බැවින් ඉන් මෙරටට සුනාමි හෝ වෙනත් අනතුරක් ඇතිවීමේ අවදානමක් නොමැති බවයි.


කෙසේ වෙතත්, ඉන්දුනීසියාව සහ අන්දමන් දූපත් ආශ්‍රිත නැගෙනහිර ඉන්දියානු සාගර කලාපයේ නොගැඹුරු මුහුදු පතුල ආසන්නයේ භූ කම්පනයක් සිදුවුවහොත් පමණක් ශ්‍රී ලංකාවට සුනාමි බලපෑමක් ඇතිවීමේ හැකියාව පවතින බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

 

More News..