Best News Website award
brand logo
logo
අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීමට අවධානය

අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීමට අවධානය

17 November 2026


අලි-මිනිස් ගැටුම පාලනය කිරීම, වල් අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණය යොදාගැනීම පිළිබඳව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබේ.


ඒ එම සභාව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.


එහිදී කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් ද අවධානය යොමු ව තිබේ.


අලින්ගේ වාසස්ථාන අහිමි වීම, සාම්ප්‍රදායික අලිමංකඩ අවහිර වීම සහ ජනාවාස හා වගාබිම් ආශ්‍රිතව ආහාර සොයා යාම අලි-මිනිස් ගැටුම වර්ධනය වීමට බලපාන ප්‍රධාන හේතු ලෙස මෙහිදී සාකච්ඡා වී ඇත.


එමෙන්ම අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සඳහා GPS සහ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන කොලර් (Satellite Collar) උපකරණ යොදාගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.


අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් වනජීවී නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ ගම්වාසීන් සම්බන්ධ කරගත් ඒකාබද්ධ කමිටු පිහිටුවීම, ප්‍රජා සහභාගීත්වය ශක්තිමත් කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ සන්නිවේදන ජාල ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු වී ඇත.


එසේම රෝගී හා තුවාල ලැබූ අලින්ට ප්‍රතිකාර කිරීමේදී වනජීවී පශු වෛද්‍යවරුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද මෙම සභාවේ දී සාකච්ඡා කර තිබේ.


වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සේවය, අලින් නිර්වින්දනය කිරීමේදී පවතින අවදානම් සහ ක්ෂේත්‍රයේදී ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ජංගම වෛද්‍ය පහසුකම් හා ජංගම එක්ස්-රේ යන්ත්‍ර වැනි තාක්ෂණික උපකරණවල අවශ්‍යතාව ද මෙහිදී අවධානයට ලක් ව ඇත.

 

More News..