Best News Website award
brand logo
logo
හෙරොයින් ග්‍රෑම් 3කට අධික ප්‍රමාණයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා සැරයන්වරයෙකු කොටුවෙයි

හෙරොයින් ග්‍රෑම් 3කට අධික ප්‍රමාණයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා සැරයන්වරයෙකු කොටුවෙයි

29 November 2026


හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සැරයන්වරයෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (28) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත. හෙරොයින් ග්‍රෑම් 10ක් සමඟ අත්අඩංගුවට ගත් වෙනත් සැකකරුවෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.


අදාළ සැකකරුගේ ජංගම දුරකථනයේ 'STF' නමින් සුරැකිව තිබූ දුරකථන අංකයක් පරීක්ෂා කිරීමේදී, එම අංකය හිමි නිලධාරියා තමන්ට මුදලට හෙරොයින් අලෙවි කරන බවට ඔහු අනාවරණය කර ඇත.


ඒ අනුව, අත්අඩංගුවේ පසුවූ පුද්ගලයා ලවා සැකකාර සැරයන්වරයාට දුරකථන ඇමතුමක් ලබා දී, සැපයූ හෙරොයින් තොගයට අදාළ මුදල් රැගෙන යාම සඳහා පැමිණෙන ලෙස දැනුම් දීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබේ. එම ඇමතුමට ප්‍රතිචාර දක්වමින් මුදල් ලබා ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.


සැකකාර සැරයන්වරයා සිය රාජකාරි වේලාවන් තුළදී පවා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බවත්, විවිධ වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා හෙරොයින් තොග ඔහු මෙලෙස ජාවාරම් කර ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ සහ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු ස්ථානාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.


අත්අඩංගුවට ගත් සැරයන්වරයා අද (29) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

More News..