Best News Website award
brand logo
logo
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සමරු උලෙළ එළැඹෙන 28 වැනිදා ඇරඹෙයි

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සමරු උලෙළ එළැඹෙන 28 වැනිදා ඇරඹෙයි

17 November 2026

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සමරු උලෙළ පැවැත්වීමට අදාළ සංවිධාන කටයුතු පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (17) පස්වරුවේ පැවැත්විණි.


නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම ඓතිහාසික සංවත්සර සමරු උලෙළ එළැඹෙන 28 වැනි දින සිට දෙසැම්බර් 02 වැනිදා දක්වා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.


මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා ථේරවාද, මහායාන සහ වජ්‍රයාන බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50කට අධික සංඛ්‍යාවක භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා සහ 800කට ආසන්න ගිහි නියෝජිතයන් පිරිසක් සහභාගී වීමට නියමිතය.

මීට අමතරව, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය 5,000කට ආසන්න පිරිසක් ද එක්වීමට නියමිතව තිබේ.


විදේශීය මහා සංඝරත්නය ප්‍රමුඛ ආරාධිතයන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපළ අවට මෙන්ම ඔවුන් ගමන් ගන්නා අනුරාධපුරය, මහනුවර ඇතුළු ප්‍රදේශ අලංකාරවත් කිරීමට අදාළ පළාත් පාලන ආයතනවල සහාය ලබාගැනීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.


මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ සැමරුම් උත්සවයක් මෙරට පැවැත්වීම රටට මහත් අභිමානයක් බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා, එය සාර්ථකව නිම කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය.


මෙම උලෙළ උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ද මනා පිටුවහලක් වනු ඇති බව සංවත්සර සංවිධායක කමිටුවේ සභාපති ආචාර්ය සාහිත්‍යසූරී අතිපූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේ මෙහිදී පෙන්වා දුන්හ.


මෙම සාකච්ඡාව සඳහා ලෝක බෞද්ධ සංඝ සම්මේලන සංවත්සර සංවිධායක කමිටුවේ ප්‍රධාන ලේකම් අතිපූජ්‍ය මාඉටිපේ විමලසාර නාහිමි ඇතුළු මහා සංඝරත්නය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

 

More News..