brand logo
logo
ඉරාන නෞකා මතභේද ගැන පැහැදිලි කිරීමක්

ඉරාන නෞකා මතභේද ගැන පැහැදිලි කිරීමක්

04 October 2026

ශ්‍රී ලංකා රජය තීන්දු තීරණ ගනු ලබන්නේ රටේ ස්වෛරීභාවය සහ අනන්‍යතාව සුරකිමින් බවත්, ඕනෑම මානුෂීය අවශ්‍යතාවකදී සුදුසු පරිදි මැදිහත්වීමට රජය සූදානම් බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

මෙරට මුහුදු සීමාව ආසන්නයේ නවතා ඇති ඉරාන නෞකා සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරමින් අද (4) පැවති උත්සවයක් අතරතුර අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නාවික ගමනාගමනය සංකීර්ණ වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවට අමතරව මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් ආසන්නයේ ඇති ජාත්‍යන්තර මුහුදු සීමාවන්හිද මෙලෙස නෞකා නවතා තිබෙන බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ නෞකා 47ක් පමණ නවතා ඇති අතර, ඒවා මෑතකදී පැමිණි ඒවා නොව දීර්ඝ කාලයක සිට අදාළ ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවතින නෞකා බව අමාත්‍යවරයා පැවසීය.

එම නෞකා අතුරින් 19ක් ඉරාන නෞකා වන නමුත්, ඒවා නවතා ඇත්තේ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ නොවන බවද තහවුරු කළේය.

එමෙන්ම අදාළ නෞකාවලට ආහාර හෝ ජලය සැපයීම වළක්වන ලෙස අමෙරිකාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, ශ්‍රී ලංකා රජයට එවැනි කිසිදු බලපෑමක්, මැදිහත්වීමක් හෝ දැනුම්දීමක් සිදුකර නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

"අමෙරිකාව අපේ ආණ්ඩුවට එහෙම දැනුම්දීමක්, මැදිගත්වීමක් හෝ බලෑමක් කරලා නෑ. ඒ නිසා එහෙම එකක් නෑ. එලෙස තියෙනවා නම් සම්පූර්ණයෙන් වැරදි අදහසක්.

අපේ ස්වෛරීත්වය, අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් තමයි අපි සියලුම තීන්දු තීරණ ගන්නේ. කෙසේ නමුත් මානුෂීය හේතූන් මත අපේ අවශ්‍යතාවක් ඇති වුණොත් ඒ අවශ්‍යකරන මැදිහත් වීමත් අපි කරනවා".

එසේම 'IRIS Bushehr' නෞකාව තවමත් ත්‍රිකුණාමල වරායේ නවතා ඇති බවත්, එහි සිටින නාවිකයන් 13 දෙනාට අවශ්‍ය ආහාර, නවාතැන් සහ ආරක්ෂාව ලබාදෙමින් එම නෞකාව ආරක්ෂිතව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බවද පැවසීය.

කෙසේ වෙතත්, අමෙරිකාව විසින් සම්බාධක පනවා ඇති නෞකාවලට භාණ්ඩ ප්‍රවාහනය කිරීම හෝ සැපයුම් ලබාදීම ශ්‍රී ලංකා රජය විසින් සිදුකර නොමැති බව පැහැදිලි කළ විදේශ කටයුතු අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව සෑම විටම කටයුතු කරන්නේ ජාත්‍යන්තර සාගර නීතියට අනුකූලව බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව පිහිටා ඇති භූ දේශපාලනික වැදගත්කම හේතුවෙන් ලෝකයේ විවිධ රටවලට අයත් නෞකා විශාල සංඛ්‍යාවක් දිනපතා දිවයින ආසන්නයෙන් ගමන් කරන බැවින්, රටක් වශයෙන් ශ්‍රී ලංකාව අවශ්‍ය ඕනෑම අවස්ථාවක එම නෞකාවලට සහයෝගය සහ මගපෙන්වීම ලබාදීමට බැඳී සිටින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


 

More News..