ගෘහ කර්මාන්තයක් වී ඇති ලිංගික වීඩියෝ
09 September 2026
ගෘහ කර්මාන්තයක් වී ඇති ලිංගික වීඩියෝ
09 September 2026
මේ දිනවල ෆේස් බුක් සැරිසරන්නන්ට දැකගන්නට ඇති (විනෝදය පිණිස තැනූ) පවුලේ වීඩියෝවක් ගැන සඳහන් කරමින් අද මේ තීරුව අරඹමු. ඒ වීඩියෝවේ ජංගම දුරකථනය අතැතිව සිය කාමරයට පැමිණෙන අයියාගෙන් තමාව රූගත කරාදැයි නංගී බියපත්ව විමසයි. අනතුරුව ජංගම දුරකථනය රැගෙන තම නිදන කාමරයට පැමිණෙන පුතාගෙන් තමා රූගත කළේ දැයි අම්මා සැකයෙන් විමසයි.
මේ පිළිබඳ ගෙදර වැඩ කර නොමැත්තන්ට නම් ඒ වීඩියෝවේ විහිළුව අවබෝධ කරගත නොහැකි වෙනවා ඇත. ඒ තමන්ගේ මවගේ හා සොහොයුරියන්ගේ පවා අඩ නිරුවත් ඡායාරූප ෆේස් බුක් මගින් අලෙවි කරන තරුණයන් ගැන පළවූ මාධ්‍ය වාර්තා නොදුටුවන්ටය. ඕනෑම දෙයක් විහිළුවට හරවාගන්නා අපේ සමාජය මේ සිද්ධියද මෙසේ විහිළුවකට හරවාගෙන ඇතත් ඒ හිනාවෙන්නට නොව හඬන්නට ඕනෑ කාරණයකි.
කතන්දරය එළිපෙහෙළියට ආවේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් බෙලිඅත්තේ 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමත් සමගය. ළමා හා කාන්තා නිරුවත් ඡායාරූප ෆේස් බුක් සමූහ හා පිටු ඔස්සේ හුවමාරු කරගන්නා කල්ලියකට මේ තැනැත්තාද අයත් බව හෙළි කරගෙන තිබේ. ව්‍යාජ ගිණුම්වලින් ගනුදෙනු කරන මොවුන් සිය සහෝදරියන්ගේ පමණක් නොව සිය මවුවරුන්ගේ පවා අඩ නිරුවත් ඡායාරූප මෙමගින් හුවමාරු කරගෙන ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
කෙසේවුවද මෙය පොලිසියේ ස්වාධීන සොයාගැනීමක් නොවේ. මේ ඡායාරූප නිරීක්ෂණය කළ ෆේස් බුක් පරිග්‍රාහකයන් විසින් කරන ලද පැමිණිලි අනුව පොලිසිය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගයකි. තමන්ට අදාළ නැති දේ නුදුටු සේ සිටින සමාජයක මේ පිරිස් විසින් නිහඬව විශාල සමාජ වගකීමක් ඉෂ්ට කර ඇතිවග මෙහිදී සඳහන් නොකරම බැරිය.
පොලිසිය විසින් සොයාගන්නා ලද කාරණා අතරින් එකක් වන්නේ මේ ව්‍යාජ ගිණුම් ඉතා වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වන්නේ විදේශයන්හි සිට බවය. මෙහිදී 2023 අවුරුද්දේ සිංගප්පූරුවේදී ළමා අපයෝජන පිළිබඳ වීඩියෝ දාහතක් හුවමාරු කරගැනීමේ වරදට දහඅට මාසයක සිරදඬුවමක් ලැබූ ශ්‍රී ලාංකිකයා පිළිබඳවද අමතක කළ නොහැකිය. තිස් හැවිරිදි විවාහකයකු වූ ඔහු අවුරුදු තුනක දරුවකුගේ පියකුද විය.
මේ පුද්ගලයා හැරුණු විට මීට සමාන වැරැද්දකට එහිදී සිරදඬුවම් ලැබූ විසිපස් හැවිරිදි තැනැත්තකු පිළිබඳවද පොලිසියට වාර්තා වී තිබේ. එසේවුවද මේ පුද්ගලයන් අද වන විට සිරදඬුවම් අවසන් කර නැවත ශ්‍රී ලංකාවට පැමිණ සිටීමට ඇති ඉඩකඩ වැඩිය. ඔවුන්ගේ වර්තමාන ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු කිසිවක් පොලිසිය සතුව ඇති බවක් දැනගන්නට ලැබී නැති බැවින් ඔවුන් තවමත් ඒ ව්‍යාපාරවල යෙදෙන්නේ දැයි දැනගන්නට නොහැකිය.
මෙතරම් අගාධයකට රට ඇද වැටී තිබියදීත් මේ පිළිබඳ සමාජය දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් කිසිවකු විසින් ආරම්භ කර ඇති බවක් දැනගන්නට නැත. හැමදේම රජය මගින් සිදුකළ යුතු යැයි යන මානසිකයක් රටේ ගොඩනැගූ දේශපාලන සංවිධානයක් අද බලයේ සිටිතත් ඔවුන් නම් ඒ සම්බන්ධයෙන් කරන දෙයක් නම් පෙනෙන්නට නැත. එහෙයින් ළමා හා කාන්තා ඕනෑ එපාකම් වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානවත් මෙහිදී සමාජය අවදි කිරීමේ වැඩපිළිවෙළකට මුල් විය යුතු යැයි අපි සිතමු.
තමන්ට පාඩුවේ හිඳීම පිණිස සිය දරුවන් අතට ජංගම දුරකථන ලබාදීම අද අපේ සමාජයේ බහුලව දකින්නට ලැබෙන්නකි. එහිදී ඔවුන් දරුවන් නරඹන්නේ මොනවාදැයි නිරීක්ෂණය කිරීමට කරදර වන්නේද නැත. එහෙයින් මේ පිළිබඳ මුලින්ම කළ යුත්තේ දෙමාපියන් දැනුවත් කිරීමය.
පාසල්වලට ජංගම දුරකථන ගෙනඒම තහනම් බැවින් පාසල් ගුරුවරුන්ට මේ සම්බන්ධයෙන් ඇති වගකීම මහත් නොවේ. එහෙත් ටියුෂන් යන දරුවන් සම්බන්ධීකරණය කරගැනීමේ පහසුව සඳහා ඔවුන්ට ගෙදරින්ම ජංගම දුරකතන ලබාදීම සිදුකෙරෙයි. එහෙත් ටියුෂන් පන්තිවලදී ළමයින්ගේ ටෙලිෆෝන් භාවිතය නිරීක්ෂණය කිරීම ටියුෂන් ගුරුවරුන්ගෙන් කොතෙක් දුරට බලාපොරොත්තු විය හැකිදැයි අපි නොදනිමු.
දෙමාපියන්ට මේ සම්බන්ධ අනතුරු හැඟවීම කළ යුත්තේ දැන් පවුලේ සාමාජිකයන්ගේ අඩ නිරුවත් ඡායාරූප ගන්නා තරමට ඇතැම් තරුණ කොටස් අතර මේ දුරදිග යෑම නිසාය. එය විශ්වාස කළ නොහැකි තරම් බරපතළ හෙයින් ඒ පිළිබඳ වැඩිහිටියන් දැනුවත් කිරීම නොපමාව සිදුවිය යුතුය. මේ නම් ආණ්ඩුවේ වර්තමාන ප්‍රමුඛතාවය වී තිබෙන උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට වඩා බෙහෙවින් වැදගත් කාරණයකි.
දවස මුළුල්ලේම මාර්ගගතව නොහොත් ඔන්ලයින් සිටීම මානසික හා ශාරීරික සෞඛ්‍යයට අවැඩදායක බව වෛද්‍යවරු කොතෙකුත් පෙන්වා දෙති. අද විශාල නිදහසක් භුක්ති විඳීමට හැකි යැයි අපේ රටවල මිනිසුන් විශ්වාස කරන බටහිර රටවල අවුරුදු 16න් අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කර ඇත්තේ මේ නිසාය. එහෙත් එය වැඩිහිටියන් සම්බන්ධයෙන් නම් පැනවිය හැකි නීතියක් නොවේ.
එහෙත් ඒ නිදහස භුක්ති විඳිමින් සමාජයට අවැඩදායී කටයුතු කරන පිරිස් සම්බන්ධයෙන් නම් කිසිදු සහනශීලීභාවයක් නොතිබිය යුතුය. ඔවුන්ට දිය හැකි හොඳම දඬුවමක් වන්නේ ඒ පුද්ගලයන් කවුදැයි සමාජයට හෙළිදරව් කිරීමය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ප්‍රසිද්ධියේ එහාමෙහා ගෙනයන්නේ නම් ඒතරම්ම නැතහොත් ඊටත් වඩා හානියක් කරන මේ පුද්ගලයන් සමාජය ඉදිරියේ නිරුවත් කිරීමේ කිසිදු වරදක් නැත.

