brand logo
logo
රාජ්‍ය විශ්වවිද්‍යාල 17 වෙනුවට 67ක්!

රාජ්‍ය විශ්වවිද්‍යාල 17 වෙනුවට 67ක්!

14 September 2026


අපේ රටේ මුල්ම රාජ්‍ය විශ්වවිද්‍යාලය වන ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවනු ලැබුවේ 1942 ජූලි 1 වැනිදාය. එදින් මෙදා ගතවී ඇති අවුරුදු අසූහතර තුළ එක රාජ්‍ය විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල දාහතක් දක්වා වර්ධනය වී තිබේ. ඊළඟට යම් දවසක එය දහ අටක් වෙනවා වෙනුවට එකපැහැර විශ්වවිද්‍යාල හැටහතක් දක්වා වැඩිවන්නට යන බවක් පසුගියදා අසන්නට ලැබුණේය.


ප්‍රීති ! ප්‍රීති ! ප්‍රීති ! ඒ සුබාරංචිය පිළිබඳ අපේ ප්‍රීතිය පළ කළ යුත්තේ එපරිද්දෙන් විය යුතුය. එහෙත් පුදුමයකට මෙන් පුවත්පත් තබා ආණ්ඩුවේ හිතවතුන්වත් එය සුබාරංචියක් හැටියට සැලකූ බවක් පෙනෙන්නට නැත.


අලුතින් රාජ්‍ය විශ්වවිද්‍යාල පනහක් පිහිටුවනු ලබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක නිවේදනය කරන විටත් FUTA (ෆූටා) නමින් රටේ ප්‍රසිද්ධ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිටියේ වීදි බසින්නට සැරසීය. ඒ දැනට රටේ තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාල දහහත මුහුණ පා සිටින ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමිනි. එහෙත් රාජ්‍ය විශ්වවිද්‍යාල පනහක් එකවර පිහිටුවන්නට යන ආණ්ඩුව ඒ ගැන නම් සැලකිල්ලක් දැක්වූයේ නැත.


අ.පො.ස.(උසස් පෙළ) සමර්ථ වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතුරින් ඉතා සුළු ප්‍රතිශතයකට පමණක් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබීම හේතු කොට ඔවුන් තුළ විශාල අසහනයක් ඇතිව තිබීම මේ ප්‍රශ්නවල මූලාරම්භයයි. මීට අවුරුදු පනහකට හැටකට කලින් සාමාන්‍ය සාමාර්ථ තුන හතරක් ලබා ඇතුළුවීමට පුළුවන්කම තිබූ විශ්වවිද්‍යාලය දැන් දැන් සියලු විෂයයන්ට A සාමාර්ථ ලබාගෙනත් ඇතුළු විය නොහැකි දුරස්ථ මට්ටමකට පත්ව තිබේ. එනිසා විශ්වවිද්‍යාල ප්‍රවේශය වැඩි ප්‍රමාණයකට ලබාදීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගත යුතු බවට සැකයක් නැත.


ඒ සඳහා ඉකුත් ආණ්ඩුද (ජනවහරේ කියන පරිදි) සියඹලා ගෙනත් ඇති බව නොකියාම බැරිය. 2015 දී විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ 25,000 ඉන් අවුරුදු දහයක ඇවෑමෙන් එනම් 45,000 දක්වා වැඩිවී තිබෙන්නේ එහෙයිනි. එහි ගෞරවයක් හිමිවේ නම් මේ දශකය තුළ බලයේ සිටි ආණ්ඩු හතරටම ඒ හිමිවිය යුතු අතර ඉන් මතුවූ ප්‍රශ්නවලටද, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ හා අනුර කුමාර දිසානායක යන සියලුදෙනාගේ ආණ්ඩු වගකිව යුතුය.


ඒ අතරේ කිවයුතු තවත් වැදගත් කාරණාවක් තිබේ. 2015 සිටි 6800 ක විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සංඛ්‍යාව 2025 වන විට 12,000 සිට 13,000 දක්වා ගණනකට වැඩිවිය යුතුව තිබුණද එසේ නොවූ බවය. ඒ එක්තරා අවදියකදී ඉහළ ඉල්ලුමක් තිබූ විශ්ව විද්‍යාල ආචාර්ය රක්ෂාව තවදුරටත් ඉහළ සුදුසුකම් ඇත්තන් ආකර්ෂණය වන රැකියාවක් නොවීම නිසාය.


එකක් ඉහළ අධ්‍යාපනික සුදුසුකම් ඇත්තන්ට විශ්වවිද්‍යාලය ගෙවන වැටුප නොසෑහීමය. ඊළඟට අද කාලයේ අය කෙරෙන බදුවල හැටියට අවසානයේ එයින්ද ඉතිරිවන්නේ සොච්චමක් වීමය. දැනට රටේ තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාල දාහතේද උගන්වන්නට සුදුසුකම් ලැබූ ආචාර්යවරුන් නැති කල අලුතින් විශ්වවිද්‍යාල පනහක් පිහිටුවීම ගැන කිසිවකුගේවත් සුබපැතුම් නිකුත් නොවූයේ ඒ නිසා විය යුතුය.


මීට පෙරාතුවද රටේ විශ්වවිද්‍යාල ගණන ඉහළ දමා ඇත්තේ ඊට⁣ ඇතුල් කරගත හැකි ශිෂ්‍ය සංඛ්‍යාව ගණනය කර මිස ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරුන් ගැන සිතා නොවේ. විශ්වවිද්‍යාල ප්‍රවේශය පුළුල් කිරීම එසේ කරන දේශපාලන පක්ෂයේ ඡන්ද පදනමටද යහපති. එහෙත් ඉගෙනගන්නට ශිෂ්‍ය ශිෂ්‍යාවන් මිස උගන්වන්නට ගුරුවර ගුරුවරියන් නැති තැන විශ්වවිද්‍යාලය යනු නාම පුවරුවක් පමණය.


සියලු රාජ්‍ය ආයතන අතුරින් පිරිස් බලය හිඟම ආයතනය විශ්වවිද්‍යාල බව රාජ්‍ය ආයතන පිරිස් බල ගැටලුව ගැන කර ඇති සමීක්ෂණවලින් හෙළිවී තිබේ. මෙහිලා අප කතා කළේ විශ්වවිද්‍යාල ගුරු හිඟය ගැන වුවත් එය විශ්වවිද්‍යාලවල ඇති එකම ප්‍රශ්නය නොවේ. මේ හැර විශ්වවිද්‍යාල යටිතල පහසුකම් ප්‍රශ්න මෙබඳු වෙනම තීරුවක් ලියන්නට තරම් මහත්ය.


කායිකව දෘශ්‍යමාන වන රෝග ගණනාවක් ඇති කෙනකුගේ මානසික සෞඛ්‍යය ගැන එකවර අපේ ඔළුවට එන්නේ නැත. විශ්වවිද්‍යාලවල මූලික ප්‍රශ්නයක් ගැන කතාකිරීමද සියලුදෙනාගෙන් මගහැරී ඇත්තේ එපරිද්දෙනි. ඒ එක්තරා කාලයක ඉතා වැදගත් කොට සලකනු ලැබුවාවූද දැන් අහිමි වී ගොස් ඇත්තාවූද විශ්වවිද්‍යාල ස්වාධීනත්වය හා අධ්‍යයන නිදහස පිළිබඳවය.


මේ ප්‍රශ්න සියල්ල විසඳුමක් නොමැතිව දිනෙන් දින ගොඩ ගැහෙන කුණුගොඩක තත්ත්වයට පත්වී තිබේ. ඒ කුණුගොඩ සුද්ද කරන්නට කිසිදු වෑයමක් නොකර තවත් විශ්වවිද්‍යාල පනහක් ඇතිකිරීමට කතාකිරීම යථාර්ථය නොදැන නැතහොත් යථාර්ථය නොසලකා හැර කටයුතු කිරීමක් යැයි කීමේ වරදක් නැත. එහි හුදු දේශපාලන ප්‍රචාරක කටයුත්තකට වඩා වැඩි වටිනාකමක් ලැබී නැත්තේ එහෙයිනි.

 

More News..