අල්ලන කුඩුවලට මොකද වෙන්නේ?
28 November 2026 | කීර්ති මෙන්ඩිස්
අල්ලන කුඩුවලට මොකද වෙන්නේ?
28 November 2026 | කීර්ති මෙන්ඩිස්
බහුදින යාත්‍රා මගින් මෙරටට රැගෙන එන මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව පැය 24 පුරාම අවදියෙන් සිටියි. එහි ප්‍රතිඵල ලෙස මෙලෙස රැගෙන පැමිණි මත්ද්‍රව්‍ය තොග කිලෝ දහස් ගණනක් මේ වසර තුළ දී අත්අඩංගුවට ගැනීමට වැටලීම් කළ නිලධාරීන්ට හැකි විය. කෙසේ වෙතත් මෙරටට ගෙන එනු ලබන මත්ද්‍රව්‍ය තොග දිගින් දිගටම නාවික හමුදාව අත්ට පත් වුවද මත්ද්‍රව්‍ය ප්‍රවාහනය තවමත් නතරව ඇති බවක් නම් පෙනෙන්නට නැත. මත්ද්‍රව්‍ය තොග ආරක්ෂක අංශවලට හසුවීම නිසා මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රුපියල් කෝටි ගණනින් පාඩු ලැබූවද මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම නිසාම ඔවුන් සිය ජාවාරම අත්හැර දමන්නට ද කැමැත්තක් නැති බව මින් පැහැදිලිය.
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය තොග මෙරටට ආනයනය කරනු ලබන්නේ විදෙස්ගතව සිටින ජාවාරම්කරුවන් පස් දෙනෙක් බවට ආරක්ෂක අංශ මගින් අනාවරණය කරගෙන ඇත. එම ආනයනකරුවන් මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ගෙන එනු ලබන මත්ද්‍රව්‍ය තොග ඉන් අනතුරුව ජාලයේ ඉදිරියෙන්ම සිටින තොග වෙළෙඳුන් වෙත ලැබේ. පසුව ඒවා ප්‍රාදේශීය මට්ටමේ බෙදාහැරීමේ නියුතු අය වෙත අලෙවි කිරීම සිදුවේ. ප්‍රාදේශීය වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු අය එම මත්ද්‍රව්‍ය කිලෝ එක දෙක සිල්ලරට මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් අතට පත් කෙරෙන අතර, එවන් සමහර සිල්ලර වෙළෙන්දන් එම මත්ද්‍රව්‍යවලට නානාවිධ දෑ කලවම් කර ඒවායේ තත්ත්වය ද බාල කරමින් මතට ඇබ්බැහි වූ පිරිසට ‘කෑලි’ වශයෙන් ඒවා අලෙවි කරනු ලබයි.
මත්ද්‍රව්‍ය ආනයනය කරන මෙරට ජාවාරම්කරුවන් අතර දෙහිබාලේ මල්ලි, කංජිපානි ඉම්රාන්, කුඩු සළිඳු මෙන්ම උනාකූරුවේ ශාන්ත වැන්නවුන් පෙරමුණේ සිටින අතර, පරෙවි සුදා නමැත්තා ද මෑත කාලයේ දිගින් දිගටම මෙරටට මත්ද්‍රව්‍ය තොග පිටින් එවූ අයෙක් වේ. මොවුන් මෙලෙස මත්ද්‍රව්‍ය ආනයනය කළ ද ඒවා ඉතා සූක්ෂම අයුරින් බහුදින ධීවර යාත්‍රා සහ ඩිංගි බෝට්ටු මගින් මෙරට මුහුදු තීරයට ගෙන ඒම භාරධුර කර්තව්‍යයකි. ඒ, නාවික හමුදාවට හසුනොවී එම තොග මෙරට මුහුදු සීමාවට ගෙනඒම ලෙහෙසි නොවන හෙයිනි. මේ නිසා මෙම තොග බොහොමයක ප්‍රවාහන කටයුතු සිදු කිරීම දෙහිබාලේ නමැත්තාගේ මෙහෙයවීම මත ඔහුගේ සමීපතමයන් විසින් සිදු කරන ලබනු බව කියයි. ඒ සඳහා දකුණෙන් මිරිස්ස, දෙවුන්දර, මාතර ආදී ප්‍රදේශවල ධීවරයෝ බොහොමයක් මේ සඳහා පුහුණුව සිටිති.
මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ගෙන එනු ලැබූ මත්ද්‍රව්‍ය තොග විශාල ප්‍රමාණයක් ඉකුත් මාස කිහිපය තුළ දිගින් දිගටම කොටුවිය. එම තොග අත්අඩංගුවට ගැනීම් මාධ්‍ය මගින් දැක්වුවද එම මත්ද්‍රව්‍ය තොගවලට කුමක් වන්නේද යන්න මහජනතාව තුළ තවමත් ඇත්තේ කිසියම් සැකයකි. ඒ, අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර ගැනෙන මෙම මත්ද්‍රව්‍ය තොග කිනම් ආකාරයෙන් හෝ නැවත ජාවාරම්කරුවන් අතට පත්වන්නේද යන සැකය නිසාවෙනි. ඊට ප්‍රධාන හේතුව වන්නේ කලකට පෙර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් එවැනි ක්‍රියාවල නිරත වීම නිසාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයක දී අත්අඩංගුවට ගෙන ගබඩා කරන ලද මත්ද්‍රව්‍ය තොග නැවත ජාවාරම්කරුවන් අතට පත් කිරීමේ මහා ජාවාරමක් ද හෙළි විණි. එමෙන්ම මෙම ජාවාරමේ යෙදුණු බව කියන දූෂිත නිලධාරීන් 15කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනුණු අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. පසුව ඔවුන්ගේ සේවය පවා තහනම් කෙරිණි.
මෙහි භයානකම තත්ත්වය වූයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සතු දත්ත ගබඩාවේ ඇතැම් රහසිගත දත්ත ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්වීමය. මත්ද්‍රව්‍ය රැගෙන ඒම සඳහා ගැඹුරු මුහුදට යන බහුදින ධීවර යාත්‍රාවල හිමිකරුවන්ට සහ ස්කීපර්වරුන්ට නාවික හමුදාව මහ මුහුදේ සිදුකරන මෙහෙයුම්වල තොරතුරු පවා ලබාදී තිබිණි. මේ නිසා මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීම් කිහිපයක් ද අසාර්ථක වී තිබිණි. ඒ, එම වැටලීම් සිදු කරන්නට කලියෙන් මහ සයුරේ නාවික හමුදා යාත්‍රා ස්ථාපිත ස්ථානවල සහ ඔවුන්ගේ ගමන් මාර්ගවල තොරතුරු ජාවාරම්කරුවන් අතට පත්වීමත් සමග ඔවුන් සිය බෝට්ටු එම ප්‍රදේශවලින් ඉවත් කර ගැනීමටත්, ගමන් මාර්ග වෙනස් කිරීමට පවා ද උත්සුක වී තිබිණි.
එමෙන්ම ඔත්තුකරුවන් විසින් ලබාදෙන තොරතුරුවලට අනුව මත්ද්‍රව්‍ය තොග කොටුකර ගැනීම සඳහා මහ මුහුදේ මෙහෙයුම් සැලසුම් කරද්දී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කළ දූෂිත නිලධාරින් එම සැලසුම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත් කිරීම නිසා එම වැටලීම් ද අසාර්ථක වූ බවට හෙළිවිණි. ඒ, දෙහිබාලේ නමැත්තාගේ පාර්ශ්වය විසින් සිදු කරන ලද ඒවා බව කියයි. තවමත් ඇතිවී ඇත්තේ කිසියම් සැකයකි. ඒ, අත්අඩංගුවට ගන්නා මෙම මත්ද්‍රව්‍ය තොග කිනම් ආකාරයෙන් හෝ නැවත ජාවාරම්කරුවන් අතට පත්වන්නේද යන සැකය නිසාවෙනි.
අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය වෙනත් ද්‍රව්‍යවලට හැරවූ අවස්ථා ද, මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළින් මීට පෙර අසන්නට ලැබුණ ද මෑතක එවන් ක්‍රියාවන් ගැන වාර්තා වීමක් සිදු නොවිණි. මෙවන් දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාප නිසා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (නාකොටික්) කෙරෙහි තැබූ මහජන විශ්වාසය ද නැතිවී ගිය අතර, කාර්යාංශයේ දත්ත විවිධ පුද්ගලයන් අතට පත්වීම සම්බන්ධයෙන් එම කාර්යාංශයේ හිටපු සමහර උසස් නිලධාරීන්ට ද චෝදනා එල්ල විණි. ජාවාරම්කරුවන්ගෙන් ලබාගන්නා ඇතැම් වරදාන, වරප්‍රසාදවලට ඇතැම් විමර්ශන නිලධාරීන් ද යටවී සිටි අතර, සමහර නිලධාරීන්ගේ මාරුවීම් පවා සකස් කරදීමට ද ඇතැම් ජාවාරම්කරුවන් උත්සාහ කරමින් ඔවුන් දිගටම එම කාර්යාංශයේ රඳවා තබා ගැනීමට ද ඔවුන් උත්සාහ කර ඇති බව පැවසේ. එලෙස එම කාර්යංශයේම රඳවා තබා ගැනීම සඳහා ඇතැම් නිලධාරීන්ට මුදල් පවා ලබාදී ඇති බවත් එවකට වාර්තා විණි. මෙහි භයානකකම වටහාගත් වත්මන් පොලිස්පතිවරයා එම කාර්යංශය භාරව සිටි ප්‍රධානීන් කිහිප දෙනකු වෙනත් පොලිස් කොට්ඨාසවලට මාරු කර යවා, කාර්යාංශයේ නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස අශෝක ධර්මසේන පත් කරන ලදි.
රාජකාරි භාරගත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට පෙනීගියේ ඇතැම් දූෂිත නිලධාරීන් වසර ගණනාවක්ම එක දිගට එම කාර්යාංශයේ රාජකාරි කරමින් ඇතැම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සබඳකම් පවත්වන බවකි. ඒ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකුගේ මෙහෙයවීම මත විමර්ශනයක් ඇරැඹුණු අතර, ඒ අනුව දූෂිත නිලධාරීන් කිහිප දෙනකු එම කාර්යාංශයෙන් ඉවත් කිරීමට ද පියවර ගැනිණි. වැඩිදුරටත් සොයා බැලීමේ දී වැටලීම් කිරීමට යොදවා සිටින ඇතැම් නිලධාරීන් වසර දෙක තුනක කාලයක් කිසිදු වැටලීමක් කර නැති බව ද අනාවරණය විණි. මෙවන් දූෂිත නිලධාරීන් විසින් රහසිගත දත්ත ජාවාරම්කරුවන් අතට පත්කිරීමත්, ඒවායේ රහස්‍ය අංක පවා ජාවාරම්කරුවන් සතුව තිබීමත් හේතුකොටගෙන ජනාධිපතිවරයාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දත්ත ගබඩාව මුළුමනින්ම නවීකරණය කිරීමටත්, එහි රහස්‍ය අංක පවා මුළුමනින්ම වෙනස් කොට එම රහසිගත දත්ත ජාවාරම්කරුවන් අතට පත්වීම වැළැක්වීමටත් අවශ්‍ය පියවර ගෙන තිබිණි.
ජාවාරම්කරුවන් අතට එම දත්ත පත් නොවීමත් සමග ඔවුහු ඉතා අසරණ භාවයට පත්වූහ. මේ නිසා ඔවුන් විසින් මුහුදු මාර්ග ඔස්සේ බහුදින ධීවර යාත්‍රා යොදාගෙන ගෙන එනු ලැබූ මත්ද්‍රව්‍ය තොග දිගින් දිගටම කොටුකර ගැනීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකිවිණි. දිගින් දිගටම මෙලෙස මත්ද්‍රව්‍ය කොටුවීමත් එලෙස අත්අඩංගුවට ගැනීම සිදු කරද්දී නැවත නැවත මුහුදු මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමත් මහජනයා අතර කසුකුසුවක්ද ඇති කළේය. ඇතැම් අයට මෙම වැටලීම් ද ගෙන දුන්නේ ගැටලුවකි. මෙලෙස අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොගවලට කුමක් සිදුවන්නේද යන පැනය නැවත ඉස්මතු වූ අතර, එම මත්ද්‍රව්‍ය තොග පෙර මෙන් ජාවාරම්කරුවන් අතට පත්වන්නේද යන සැකය උග්‍රවීමත් සමග ඊට විසඳුමක් සෙවීමට ද බලධාරීන් උත්සුක විණි.
අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගැනීමෙන් පසු ඒවාට අදාළ රස පරීක්ෂක වාර්තා ලබාගැනීම සිදු කෙරෙන අතර, අනතුරුව එම මත්ද්‍රව්‍ය තොග අධිකරණ නියෝග මත නඩු භාණ්ඩ භාරකරු වෙත ලබාදීම පැවැති ක්‍රමවේදය විය. එහෙත් එලෙස ගබඩා භාරකරු වෙත යැවෙන මත්ද්‍රව්‍ය තොග ද එම ගබඩාවලින් පැන්නීමේ සිද්ධීන් වාර්තා වීමත් සමග ඒ සම්බන්ධයෙන් ද බලධාරීන්ගේ දැඩි අවධානය යොමුවිණි. ඒ අනුව අත්අඩංගුවට ගෙන ගබඩා තුළ තිබූ මත්ද්‍රව්‍ය තොග මහෙස්ත්රාත්වරයකු ඉදිරියේ පුලුස්සා දැමීමේ ක්‍රියාවලියක් ඇරැඹිණි. නඩු හබ අවසන් වීමෙන් පසු එක්කාසු වන මෙම තොග නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේනගේ උපදෙස් මත විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව මැද ස්ථාපිත දහන උඳුන්වල දමා පුලුස්සා දැමීම දිගටම සිදු කෙරුණු අතර, ඉකුත් මාස කිහිපය තුළ එම පිලිස්සීමේ ක්‍රියාවලිය ද ඇණහිට ඇතැයි වාර්තා විය. එයට හේතූන් ලෙස ඇතැම් සමාජ මාධ්‍ය ද විවිධ මත පළකළ අතර, ඒ නිසා ඇතැම් අයගේ සැකය ද මත්ද්‍රව්‍ය තොග පිලිස්සීමේ ක්‍රියාවලියේ ප්‍රමාද වීම ගැන යොමුවිය.
ඒ සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියකුගෙන් විමසූවිට ඔහු පැවැසුවේ එවන් විශාල තොග රස පරීක්ෂකවරයාගේ ගබඩාවල තැන්පත් කර ඇති බවය. සීමිත ගබඩා සංකීර්ණයක් තුළ අසීමිතව මත්ද්‍රව්‍ය තොග මෙලෙස තැන්පත් කර ඇති බවත් මේ වනවිට දැනගන්නට ඇත. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසන්නේ සමහර මත්ද්‍රව්‍ය තොග ඉක්මනින් පුලුස්සා දැමීමට නොහැකිව ඇත්තේ එම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් තවමත් නඩු විභාග වන නිසා බවය. ඒ අනුව මත්ද්‍රව්‍ය කිලෝ එකකට වැඩි මෙවන් අත්අඩංගුවට ගැනීම් 140කට අදාළව කිලෝ 1,000ක පමණ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තවමත් රස පරීක්ෂක භාරයේ ඇති බව ද එම නිලධාරියා අවධාරණය කළේය. අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවලින් කොටසක් අධිකරණ ගබඩාවලත්, තවත් කොටසක් රස පරීක්ෂක භාරයේත් තිබීම මත්ද්‍රව්‍ය පිලිස්සීමේ ක්‍රියාවලියට දැඩි ගැටලුකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව ද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ තොරතුරු ගෙනහැර දැක්වීය.
එමෙන්ම මහාධිකරණ මගින් විභාග කෙරෙන මත්ද්‍රව්‍ය නඩුවල දී සමහර සැකකරුවන් වරදකරුවන් කිරීමත් සමග ඔවුන් සමග අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය පිලිස්සීමේ ක්‍රියාවලියට යොදා ගැනීමට හැකි වුවත් එවන් සැකකරුවන් එම තීන්දු තීරණ වෙනස් කර ගැනීම සඳහා අභියාචනාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑම නිසා පිලිස්සීමේ ක්‍රියාවලිය යළි ඇනහිටින බවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේය. මෙම නඩුවල දී සැකකරුවන් වැරදිකරුවන් වීමෙන් පසු අදාළ මත්ද්‍රව්‍ය තොග විනාශ කරලීම බාධාවක් නොවන බව ද ඔවුහු පෙන්වා දෙති. මේ අතර මත්ද්‍රව්‍ය නඩුවලට සම්බන්ධ සැකකරුවන් වැරදිකරුවන් බවට තීරණය කිරීමෙන් පසුව ද ඔවුන් සන්තකයේ තිබී විමර්ශන නිලධාරීන් සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය තොග තවමත් එම කාර්යාල තුළ ගොඩගැසී තිබෙන බව ද වාර්තා විය. මත්ද්‍රව්‍ය තොග පුලුස්සා නොදමා දිගින් දිගටම රස පරීක්ෂක කාර්යාලවල සහ අධිකරණ ගබඩා තුළ ගොඩගැසීම මහජනයාගේ සැකයට හේතුවන බවත්, ඒ නිසා මත්ද්‍රව්‍ය පිලිස්සීම සම්බන්ධයෙන් නව නීතිරීති ඉදිරියේ දී ගෙන ඒමට නියමිත බවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අවධාරණය කළේය.
පසුගිය කාලය පුරාම මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වන සැකකරුවන් දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමග බන්ධනාගාර ද පිරී ඉතිරී ගොස්ය. මෙය රටට මෙන්ම සමාජයට ද මහත් ගැටලුවකි. මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ ඇස් යොමුවීමෙන් පසු විවිධ මත සමාජය පුරාම පැතිරිණි. රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම නිසා බන්ධනාගාර පිරී ඉතිරී ගොස් ඇති බව ද කියැවිණි. කෙසේ වෙතත් මේ වනවිට මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇති අතර, අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තා නිකුත් කිරීම කඩිනම් කිරීමටත්, ඉතාම කෙටි කාලයක් තුළ දී එම වාර්තා ලබාදීමටත් මේ අනුව පියවර ගැනිනි. එමෙන්ම මෙම වාර්තා ඉක්මනින් නිකුත් කිරීම සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලයට නව බඳවා ගැනීම් ද සිදු කෙරෙනු ඇත.
මේ අතර රස පරීක්ෂක කාර්යාලයට මෙන්ම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ද නව බඳවා ගැනීම් අවශ්‍ය බව කියයි. මෙම බඳවා ගැනීම් තුළින් සිදු කෙරෙන වැටලීම් ප්‍රමාණය වැඩිකරලීමට හැකියාව ඇති බව ද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසන්නේ පනත සංශෝධනය කිරීම සඳහා නව නීති පද්ධතියක් කැබිනට් මණ්ඩලය වෙත මේ වනවිටත් ඉදිරිපත් කර ඇති බවය. මෙවන් නව නීති ක්‍රියාත්මක වීමත් සමග විශාල මත්ද්‍රව්‍ය තොග ගොඩබැසීමක් සිදු නොවන අතර, මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීමත් සමග ඉන් සාම්පල ලබාගෙන එම සාම්පල මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ තැන්පත් කොට අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග බලධාරීන්ගේ සහ අධිකරණයේ අධීක්ෂණය මත ඒ මොහොතේම පුලුස්සා දැමීමට මින් හැකිවන බවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පෙන්වා දෙයි.
මේ අතර මත්ද්‍රව්‍ය තොග පිලිස්සීමේ ප්‍රමාදයක් ඇති බවට සඳහන් වන වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමක දී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවැසුවේ දිගින් දිගටම මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට පත්වීම නිසා පිලිස්සීමේ ක්‍රියාවලිය පසුගිය මාසය තුළ සිදු කිරීමට නොහැකි වූ බවය. එමෙන්ම එම කාර්යාංශය වැඩිදුරටත් පැවැසුවේ මේ නිසා ගොඩගැසුණු මත්ද්‍රව්‍ය තොග ඉදිරි දෙසැම්බරයේ පුලුස්සා දැමීමට කටයුතු කරන බවත්ය. පුලුස්සා දැමීම ප්‍රමාදවීම නිසා එම මත්ද්‍රව්‍ය තොග නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හෝ බාහිර පුද්ගලයන් අතට පත්වීමට කිසිසේත්ම ඉඩක් නැති බව පවසන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නව නීති ගෙන ඒමෙන් පසු මහජනයා තුළ ඇති මෙවන් සැක සංකා බැහැරව යන බවත්, විනිවිද භාවයකින් යුක්තව පිලිස්සීමේ ක්‍රියාවලිය ද කළහැකි බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ බලධාරීහු පවසති.


