brand logo
logo
 හෝමාගම පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු මියයෑමේ සිද්ධිය - මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

හෝමාගම පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු මියයෑමේ සිද්ධිය - මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

26 October 2026


මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටියදී මියගිය ඉෂාර හර්ෂ කුමාරගේ ඥාතීන් මානව හිමිකම් කොමිෂන් සභාවට අද පැමිණිල්ලක් සිදු කර තිබේ.


මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලිසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිදුවීමක් ඊයේ (25) වාර්තා වුණි.


කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි ඉෂාර හර්ෂ කුමාර නමැති 29 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් සිර මැදිරියෙහි රඳවා සිට ඇති අතර එහිදි ඔහු පොලිස් පහරදීමට ලක්ව ඇති බවට ඥාතීන් චෝදනා කළේය.


පසුව ඥාතීන්ගේ ඉල්ලීම මත සැකකරු හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබුණද එහිදි ඔහු මියගොස් තිබුණි.


මේ සම්බන්ධයෙන් පොලීසිය සඳහන් කළේ, වැටලීමක් අතරතුර හෝමාගම පොලීසියට රැගෙන ආ සැකකරුවකු හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසුව මියගිය බවයි.


මේ අතර මෙම සිදුවීමට අදාළව කඩිනම් හා ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත උපදෙස් ලබා දී තිබේ.


ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති, උපපොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවා තිබේ.


 

 

More News..