ආණ්ඩුව සිවුරට බයායි!
10 October 2026 | සුන්දර නිහතමානි ද මැල්
ආණ්ඩුව සිවුරට බයායි!
10 October 2026 | සුන්දර නිහතමානි ද මැල්
ටෙලිවිෂන් ප්රවෘත්ති නරඹමින් සිටි බිරිඳ කෝපයෙන් කෑගසන්නට වූවාය.
"යකෝ, මුන් හාමුදුරුවන්ගෙ සිවුරු ගලවලා ගිහි ඇඳුම් අන්දලා" ඈ හිඳ සිටි පුටුවෙන් නැගිට මොර දුන්නාය. "මේ නම් බුද්ධාගම නැති කරන්නම පෙරුම් පුරාගෙන ආපු හැත්තක්."
මම බිරිඳ සන්සුන් කරන්නට උත්සාහ කළෙමි.
"නෝනා, ඔහොම නිස්කාරණේ කලබල වෙන්න එපා" මම ඇයට කරුණු පහදන්නට පටන් ගනිමින් කීවෙමි. "ඇත්තටම ඔය වුණේ හොඳ දෙයක්නෙ."
එවර ඈ යටිගිරියෙන් කෑගසමින් අපේ පුතා කැඳෙව්වාය.
"පුතා, ඔයාට මම කොච්චර කියල තියෙනවද මේ මිථ්යාදෘෂ්ටිකයා එක්ක පවුල් කන්න බෑ කියල" ඕ පුතාට පැමිණිලි කරන්නට වූවාය. "ඒ කාලෙ දැහැමි කොල්ලො කීදෙනෙක් නම් මගේ පස්සෙන් ආවද, පූරුවෙ කරුමෙට මේ අසත්පුරුෂයාට අහුවුණාට."
පුතා විනිශ්චයාසනාරූඪව නඩුව විභාග කරන්නට පටන් ගත්තේය.
ආණ්ඩුව ගරුතර සංඝරත්නයට කළ අපහාසය මා අනුමත කෙරුවේ යැයි බිරිඳ අඩි පොළොවේ ගසමින් පැමිණිලි කළාය.
"ඔය වුණේ හොඳ දෙයක් කියල හොඳට හිතල බැලුවොත් කාටත් තේරෙනවා" මම නිදහසට කරුණු කියා සිටියෙමි. "මුලින්ම ආණ්ඩුව රටට පෙන්නන තරම් නිර්භීත නෑ කියල මේකෙන් ඔප්පු වුණා."
ඒ විත්ති වාචකය පැහැදිලි මදි බව නඩුකාරයා ප්රකාශ කළේය.
"මතකද ජනාධිපතිතුමා යුද ජයග්රහණය සමරන්න ඇවිත් එච්චර කල් හිටපු රණවිරුවන්ව නිකම්ම නිකම් සෙබළු කරා" මම විමසුවෙමි. "ඒ වෙලාවෙ මුළු රටටම අම්මට සිරි කියවුණානෙ ලොක්කගෙ නිර්භීතකමට."
"ඉතින්, ඉතින්."
"බෞද්ධයො අනුරාධපුර පහුකරගෙන වෙන වෙන තැන් වඳින්න යනව කියල එතුමා තග දැම්මා මතකද? "මම සිහිපත් කළෙමි. "වඳින්න ඕන පන්සලත් ආණ්ඩුවෙන් අහගන්න කිව්වම මුළු රටටම හික් ගෑවුණානෙ එහෙමත් නිර්භීතකමක් කියල."
"වෙන, වෙන."
"මුළු රටම බය බිරාන්ත වුණා ඒ කතාවලින්" මම කියා සිටියෙමි. " ආණ්ඩුව මෙහෙම චණ්ඩි කතා කියන්නෙ ආයෙ යන්න නම් නෙවෙයි කියල."
"ඔයාට කියන්න තියෙන්නෙ එච්චරද?"
"ඒත් සිවුරු ගැලවිල්ලට විරුද්ධව මහානායක ප්රකාශෙ ආව විතරයි පස්සෙන්දම රැස්වීමක් දුන්න විතරක් නෙවෙයි කොමිටියකුත් දැම්මා තීන්දුව දෙන්න" මම පෙන්වා දුනිමි. "සුමාන දෙකකින් ඔය කොමිටිය තීරණය කරනව ආණ්ඩුව සිවුරට බයයි කියල."
නඩුකාරයා මෙහිදී මැදිහත් විය.
"ඔය කිව්වට ජනාධිපතිතුමා බය නෑ" ඔහු කියා සිටියේය. "එක්කෙනෙක් වෙනුවෙන් නීති වෙනස් කරන්න බෑ කියල එතුමා නිර්භීතව කිව්වනෙ."
එබසට මට හිනා ගියේය.
"ජනාධිපතිතුමාට තාම හැට පිරිලත් නෑ, ඒත් හරියට අමතක වෙනවා" මම මතක් කළෙමි. "සුමානෙකට දෙහෙකට කලින් එතුමා ආණ්ඩුක්රම ව්යවස්ථාවත් වෙනස් කරේ එක්කෙනෙක් වෙනුවෙන් කියලනෙ කියන්නෙ."
මෙහිදී බිරිඳ මට කඩා පැන්නාය.
"තමුසෙ කිව්වනෙ හාමුදුරුවන්ගෙ සිවුරු ගැලවිල්ල හොඳ දෙයක් කියල" ඈ කෝපයෙන් කීවාය. "ඒ බෞද්ධ විරෝධී කතාව ගැන තමුසෙ මොකද කියන්නෙ."
මම ඊට යටහත් පහත්ව පිළිතුරු බැන්දෙමි.
"කලබල වෙච්චි තරමෙන් තේරුණානෙ නෝනා, ආණ්ඩුව සිවුරට බයයි කියල. සිවුරට බයයි කියන්නෙ මේගොල්ලො තාම තීරණය කරල නෑ ඡන්ද නොතියා ඉන්න" මම පැහැදිලි කළෙමි. "ඉතින් නෝනා ඡන්දෙ දාන්න යන මුල් දහදෙනා මරනව කියපු ජෙප්පොත් ඡන්ද තියන්න හිතනව කියන්නෙ හොඳ දෙයක් නෙවෙයිද?"

