brand logo
logo
 මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රු. කෝටි 10කට වැඩි දේපොළ ක්‍රියා විරහිත කරයි

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රු. කෝටි 10කට වැඩි දේපොළ ක්‍රියා විරහිත කරයි

10 September 2026


‍මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයාගත් බවට සැක කෙරෙන රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුත් දේපල ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.


2020 වසරේ මැයි 14 වනදා පෑලියගොඩ පොලීසිය විසින් ජීප් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ද විමර්ශනයක් ආරම්භ කර තිබුණි.


එම විමර්ශනවලදී පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදාගෙන දේපල මිලදීගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.


ඒ අනුව, මහර, කඩවත ප්‍රදේශයේ පර්චස් 19.90ක ඉඩමක ඉදිකර ඇති දෙමහල් නිවසක් සහ සිංහාරමුල්ල, කැලණිය ප්‍රදේශයේ පර්චස් 18ක ඉඩමක ඉදිකර ඇති දෙමහල් නිවසක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර තිබේ.


එම දේපොළ දෙකෙහි දළ වටිනාකම රුපියල් ලක්ෂ 500 බැගින් වන අතර, සමස්ත දළ වටිනාකම රුපියල් කෝටි 10කට අධික වේ.


විමර්ශනවලට අනුව, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයාගත් මුදලින් මෙම දේපොළ මිලදීගෙන ඇති බවට සැලකෙන බැවින්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව 2026 සැප්තැම්බර් 10 වනදා සිට දින 14ක කාලයක් සඳහා ඒවා ක්‍රියා විරහිත කිරීමේ නියෝග ලබාගෙන තිබේ.


නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

 

More News..