brand logo
logo
ගුවන්යානයක් තුළදී ශ්‍රී ලාංකික කතකට දරු ප්‍රසූතියක්

ගුවන්යානයක් තුළදී ශ්‍රී ලාංකික කතකට දරු ප්‍රසූතියක්

19 October 2026


කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ බලා පැමිණෙමින් තිබූ ගුවන් යානයක් තුළදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් අද (19) අලුයම පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබේ.


මෙලෙස දරුවෙකු ප්‍රසූත කර ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවකි. ඇය 2024 වසරේදී ගෘහ සේවය සඳහා කුවේට් රාජ්‍යයට ගොස් ඇති බව වාර්තා වේ.


ඇය අද (19) අලුයම 2.52ට කුවේට් සිටි ගුවන් තොටුපොළේ සිට අල් ජසීරා ගුවන් සේවයට අයත් J9-551 දරන ගුවන් යානයෙන් කටුනායක බලා පැමිණෙමින් සිටියදී මෙම දරු ප්‍රසූතිය සිදුව තිබේ.


ගුවන් ගමන් සඳහා සහභාගී වීමේදී ගර්භණීභාවය සම්බන්ධයෙන් අදාළ ගුවන් සේවයේ නියමයන් සහ වෛද්‍ය උපදෙස් සැලකිල්ලට ගත යුතු පසුබිමක, අදාළ කාන්තාව සිය ගර්භණීභාවය ගුවන් සේවා නිලධාරීන්ගෙන් සඟවාගෙන සිටි බවට තොරතුරු වාර්තා වේ.


ගුවන් යානය තුළදී ගුවන් සේවිකාවන්ගේ සහාය ඇතිව දරු ප්‍රසූතිය සිදුකර ඇති අතර, එය කිසිදු සංකූලතාවකින් තොරව සිදුව තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් නියමුවා කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව, ගුවන් යානය ගොඩබැස්වීමට පෙරම ගිලන් රථයක්, වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලයක් සූදානම් කර තැබීමට පියවර ගෙන ඇත.


ඒ අනුව, දරු ප්‍රසූතියෙන් පසු මව සහ බිළිඳා වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහල වෙත යොමු කර තිබේ. ඔවුන් දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවට තොරතුරු වාර්තා වේ.

 

More News..