brand logo
logo
 විදුලි වාහන බැටරි කළමනාකරණයට විධිමත් වැඩපිළිවෙළක් නැහැ – විගණනයෙන් හෙළිවෙයි

විදුලි වාහන බැටරි කළමනාකරණයට විධිමත් වැඩපිළිවෙළක් නැහැ – විගණනයෙන් හෙළිවෙයි

24 October 2026


මෙරට භාවිතයෙන් ඉවත් කරන විදුලි වාහන බැටරි නිසි පරිදි එකතු කිරීම, ගබඩා කිරීම, ප්‍රතිචක්‍රීකරණය සහ බැහැර කිරීම සඳහා ප්‍රමාණවත් ජාතික කළමනාකරණ ක්‍රමවේදයක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කර තිබේ.


ඒ, ශ්‍රී ලංකාවේ විදුලි වාහන භාවිතය, පසු භාවිත කළමනාකරණය සහ එහි පාරිසරික බලපෑම සම්බන්ධයෙන් නිකුත් කර ඇති විශේෂ විගණන වාර්තාවක් මගිනි.


2020 වසරේ හඳුන්වා දුන් ජාතික අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය යටතේ භාවිතයෙන් ඉවත් කරන විදුලි වාහන බැටරි කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළ ඵලදායී ලෙස ක්‍රියාත්මක කර නොමැති බවද විගණනයේදී නිරීක්ෂණය වී තිබේ.


විශේෂයෙන් බැටරි එකතු කිරීම, ප්‍රතිචක්‍රීකරණය, ඒවායේ ගමන් මඟ නිරීක්ෂණය කිරීම සහ පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම සඳහා ඒකාබද්ධ ආයතනික ක්‍රමවේදයක් ස්ථාපිත කර නොමැති බවද එහි සඳහන් වේ.


එමෙන්ම බැටරි කළමනාකරණයට සම්බන්ධ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ද සීමිත මට්ටමක පවතින බව විගණන කාර්යාලය පෙන්වා දී ඇත.


විගණනයේදී සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ඇතැම් භාවිත කළ බැටරි විවෘත ස්ථානවල ගබඩා කිරීම සහ විශාල බෑග්වල ඇසුරුම් කිරීම වැනි ක්‍රමවේද අනුගමනය කරන බවය.


මෙවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් සේවක ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම පරිසරයට ද අවදානම් ඇතිවිය හැකි බවද විගණන වාර්තාවේ සඳහන් වේ.


දැනට මෙරට භාවිතයෙන් ඉවත් කරන විදුලි වාහන බැටරි කළමනාකරණ කර්මාන්තය සංවර්ධනයේ මුල් අවධියේ පවතින අතර, ඒ සඳහා විධිමත් ජාතික බැටරි ආපසු භාරගැනීමේ ක්‍රමවේදයක් හෝ පුළුල් ලුහුබැඳීමේ පද්ධතියක් නොමැති බවද අනාවරණය වී තිබේ.


බැටරි ගබඩා කිරීම සහ ප්‍රවාහනය සඳහා ප්‍රමිතිගත ක්‍රියාපටිපාටි නොමැතිවීම හේතුවෙන් මෙම කර්මාන්තය බොහෝදුරට තාවකාලික වාණිජ විධිවිධාන මත ක්‍රියාත්මක වන බවද විගණනයෙන් හෙළිවී ඇත.


කෙසේවෙතත්, භාවිතයෙන් ඉවත් කරන විදුලි වාහන බැටරි මහා පරිමාණයෙන් බැහැර කිරීමේ අවධියකට ශ්‍රී ලංකාව මෙතෙක් පැමිණ නොමැති බවද වාර්තාව පෙන්වා දී ඇත.


මේ අතර, 2026 අංක 15 දරන ජාතික පාරිසරික සංශෝධන පනත මගින් බැටරි කළමනාකරණය සම්බන්ධයෙන් නිෂ්පාදකයින්ගේ සහ ආනයනකරුවන්ගේ වගකීම් නියාමනය කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දී තිබේ.


එහෙත් එම නීතිමය ප්‍රතිපාදන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අතිරේක රෙගුලාසි, මෙහෙයුම් ක්‍රියාපටිපාටි සහ අධීක්ෂණ යාන්ත්‍රණයන් කඩිනමින් සකස් කළ යුතු බව ජාතික විගණන කාර්යාලය අවධාරණය කර ඇත.


පවතින අඩුපාඩු නිසි ලෙස විසඳීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී භාවිතයෙන් ඉවත් කෙරෙන ලිතියම්-අයන බැටරි ප්‍රමාණය ඉහළ යාමත් සමඟ පාරිසරික දූෂණ අවදානම තවදුරටත් වර්ධනය විය හැකි බවද විගණන වාර්තාව මගින් අනතුරු අඟවා තිබේ.


 

More News..