අපි කුමක් කරමුද? අපි ජෙප්පන් වෙමු!
31 October 2026 | සුන්දර නිහතමානි ද මැල්
අපි කුමක් කරමුද? අපි ජෙප්පන් වෙමු!
31 October 2026 | සුන්දර නිහතමානි ද මැල්
නොවැම්බර් 1 වැනිදා,
කොළඹදී.
ප්‍රිය ජෙප්පනි,
ඔබ සියලුදෙනාට ප්‍රිය යන ආමන්ත්‍රණය යෙදීමට මා හිත හදාගත්තේ පුරා පැය විසිහතරක් දැඩි සිත්වේදනා විඳීමෙන් පසුව බව පළමුවෙන්ම කියනු කැමැත්තෙමි. අවසානයේදී මේ වචනය ලිවීම සඳහා අවශ්‍ය චිත්ත ධෛර්යය මට ලබාදුන්නේ මගේ බිරිඳය. (මුලදී මා ලිව්වේ මා ප්‍රිය බිරිඳ කියාය. එහෙත් බිරිඳ ඊට දැඩි විරෝධය පෑවාය. ප්‍රිය යන වචනය ඇයට අප්‍රිය වූයේ මන්දැයි මම නොදනිමි) එසේ වුවද ඔබ සැමට ප්‍රිය කියා ඇමතීමට මා පැකිළෙමින් සිටියදී "තමුසෙ හැම කොල්ලටමයි බල්ලටමයිත් ප්‍රිය කියල කියන්නෙ ඔන්න ඔහේ ජෙප්පොන්ටත් ප්‍රිය කියල ලියල දානව" කියා කීවේද බිරිඳමය.
2024 සැප්තැම්බර් සිට ජෙප්පන් ගැනම ලිවීමට සිදුවීම නිසා මගේ ජීවිතය ඒකකාරී ස්වරූපයක් ගෙන ඇති බව මුලින්ම දන්වනු කැමැත්තෙමි. ඔබ සියලුදෙනාට පවා ප්‍රිය යැයි කියමින් ඒ ඒකාකාරී ස්වරූපයෙන් මිදීම සඳහා මේ දිනවල මම ඉතා දුෂ්කර ව්‍යායාමයක යෙදෙමින් සිටිමි. ඉතා පක්ෂග්රාහී ලෙස සෑම සතියකම ජෙප්පන් උපහාසයට ලක්කරන බවට ඔබ මට චෝදනා කරන බව මම දනිමි. එහෙත් මා එය කරන්නේ කොයිතරම් අකැමැත්තෙන්දැයි ඔබ දන්නේ නැත. 1989 පටන් 2024 දක්වාද මා ලිව්වේ පවතින ආණ්ඩුවලට විරුද්ධ වුවත් ජෙපි ඔබ සැම ඒ කාලයේ මගේ සදාදරණීය පාඨකයන් වී සිටියේය. එකල මගේ හාස්‍යය රසය විඳි ජෙපි ඔබ මා පුරුදු පරිදි මේ ආණ්ඩුවටද සිනාසෙන විට කේන්තියෙන් පුපුරන්නේ මන්දැයි මට නොතේරෙයි. සෑමදෙයකටම කොමිසමක් පත්කරන ආණ්ඩුව 2024 න් පසු ජෙප්පන්ගේ හාස්‍ය රසය අතුරුදන් වූයේ කෙසේදැයි සොයා බැලීමට අති විශේෂ ජනාධිපති කොමිසමක් පත් නොකරන්නේ මන්දැයි මට නොතේරෙයි.
ජෙප්පන් ගැනම ලියන මා සුන්බුන් විපක්ෂය ගැන නොලියන්නේ මන්දැයි ඔබ වරින් වර විමසයි. මමද එසේ කිරීමට ඉතා කැමැත්තෙන් සිටිමි. තවද සජිත්, නාමල් හා දිලිත් මට ටැලිෆෝන් කරමින්ද, ඊමේල් දමමින්ද, පණිවුඩකාරයන් එවමින්ද තමන්වද උපහාසයට ලක්කරන ලෙස මගෙන් කොතෙකුත් ඉල්ලා සිටින බවද මෙහිදී හෙළිදරව් කරනු කැමැත්තෙමි. මා හැම සතියකම ලියන්නට හිඳගන්නේ සජිත්ගේ වාග් චාතුර්යය ගැන හෝ නාමල්ගේ අවංකභාවය ගැන හෝ දිලිත්ගේ නයා ගැන හෝ ලියන්නෙමි යැයි තරයේ අධිෂ්ඨාන කරගෙනය. එහෙත් අවාසනාවකට ලියන්නට පටන් ගනිද්දී ඒ තුන්දෙනාගේම ඇප කැන්සල් වන විදිහේ උපහාස කතාවක් ජෙපි පාර්ශ්වය මට සපයන්නෙහිය. හොඳම දේ පාඨකයන්ට යන්න මගේ ආදර්ශ පාඨය වන බැවින් මට මේ අන්දමින් ඔබ ගැනම සතිපතා ලියන්නට සිදුවෙයි.
හැමවිටම සිදුවන්නාක් සේ මෙතැනදීද පිහිටට ආවේ මගේ ප්‍රිය බිරිඳය. (සොරි, බිරිඳය) ඈ කියා සිටියේ මා ලයිසන් ජෙප්පෙකු වුවහොත් මට ජෙප්පන්ට සිනාසීමේ නරක පුරුද්දෙන් ගැලවීමට හැකි බවය. මා ජෙප්පෙකු වුවහොත් ඊට පසු ආණ්ඩුවේ සියලු දෙනා මට අවංක, සාධාරණ, දක්ෂ, උගත් හා නිර්භීත තැනැත්තන් ලෙස පෙනෙන්නට ගන්නවා ඇතැයි ඈ කීවාය. මේ රටට ආදරය කරන්නේ ඔවුන් පමණක් බවත් රට වැටී ඇති අගාධයෙන් ගොඩගත හැක්කේද ඔවුන්ටම පමණක් බවත් මට අවබෝධ වීම සහතික බවද ඈ පෙන්වා දුන්නාය. මේ ආණ්ඩුවේ කිසිවෙකුත් සිහිනෙන්වත් වැරැද්දක් නොකරන, ලෝක ඉතිහාසයේ කවර රටක වුවද පහළ නොවූ විශිෂ්ට සත්ත්ව විශේෂයක් බව පෙනීයෑමද ස්ථිරය යනු ඇගේ අදහසයි. එවැන්නන් ගැන උපහාසාත්මක රචනා ලියන්නට ලෝකයේ හොඳම තීරු රචකයාටද බැරිය.
ඒ මේ සියලු කාරණා සලකා බලා මම අද පටන් ජෙප්පෙක් වන බව ශ්‍රී ලංකා වාසී සියලුදෙනාට ගෞරව බහුමානයෙන් දන්වා සිටිමි.
මම,
මානි
ප:ලි:
ඔබද ජෙප්පෙකු වන්න. ඔබේ පමණක් නොව රටේද සියලු ප්‍රශ්න සැණෙකින් දූරීභූත වෙනවා ඇත.

