සිරිමාවෝ බාලිකාවන්ගේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දක්වා
23 December 2025
සිරිමාවෝ බාලිකාවන්ගේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දක්වා
23 December 2025
අද කාලයේ අපේ රටේ ප්‍රශ්න මොනවාදැයි තීරණය කරන්නේ ෆේස්බුක් පරිශීලකයන්ය. දිට්වා සුළි කුණාටුවට හසුවූ මිලියන කීපයක් ජනතාව තවමත් සිය ගම්බිම්වලම නන්නත්තාර වී සිටියදී ෆේස්බුක් යෑමට ඉස්පාසුවක් ඇත්තන් විසින් රටේ අලුත්ම ප්‍රශ්නය මතුකරගෙන තිබේ. ඒ ඊයේ පෙරේදා කොළඹ 7 සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වර්ණ ප්‍රදානෝත්සවයේදී ඇතිවූ කලබැගෑනියකි.
එහිදී පිරිනැමුණු විශේෂ සම්මානය ලබාගැනීම සඳහා වේදිකාවට නැගුණු බාලිකාව, මයික්‍රෝෆෝනය ඉදිරියට ගොස් කියා සිටියේ ඉකුත් වර්ෂයේ විශිෂ්ටතම ක්‍රීඩිකාවට පිරිනැමෙන සම්මානයද හිමිවිය යුත්තේ තමාට බවය. ඕ ඒ සඳහා තමන්ගේ පැත්තෙන් කරුණු කාරණාද ගෙනහැර පෑවාය. එහෙත් සම්මානය පිරි නැමූ පාසල පැත්තෙන් ඒ අවස්ථාවේදී කිසිවකුගෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුවූයේ නැත.
එසේ වුවද ෆේස්බුක් පරිශීලකයෝ හදවතින්ම ශ්‍රී ලාංකීයව වහාම තීන්දු තීරණවලට එළඹුණහ. ඉක්බිති ගතවූ විසිහතර පැය තුළ විසි හැවිරිදි ස්කොෂ් ශූරිය ෆේස්බුක් පරිශීලකයන්ගේ අසහාය වීරවරිය බවට පත් වූවාය. මේ වන විට කොයිතරම් පිරිසක් එකී කාරණය සම්බන්ධයෙන් සිය පෝස්ටු පළ කර ඇද්දැයි කියතොත් එසේ නොකිරීම මදිපුංචිකමක් වන තත්ත්වයට පත්වී තිබේ.
මේ සම්බන්ධව ෆේස්බුක් පෝස්ටු පළ කළ ඉතා වැඩිදෙනා විශිෂ්ටතම ක්‍රීඩිකාව විය යුත්තේ තමන් යැයි කියමින් බාලිකාව නැගූ හඬ ඉතා ඉහළින් අගය කළහ. අසාධාරණයට විරුද්ධව නැගී සිටීමට ඇයට තිබූ ශක්තිය හා ධෛර්යය වර්ණනා කළහ. ඇත්ත! සම්මානය හිමිවිය යුතුව තිබුණේ ඇයට නම් එය වෙනකෙකුට පිරිනැමීම වැරදි තමයි. විභාගයකට යාමට තිබූ නිසා කලින් දවසේ පැවති පෙරහුරුවට නොපැමිණි වරදට සම්මානය අහිමි කළේ නම් එද වස වැරැද්දකි. ඇය තමන්ට පැමිණීමට නොහැකි බව හා ඊට හේතුව වගකිවයුත්තන්ට දන්වා තිබූ බැවිනි.
මෙසේ එක රැයකින් මුළු රටේම ප්‍රසිද්ධ වූ බාලිකාව ස්කොෂ් ක්‍රීඩාවෙන් ජාතික ශූරතාවය දිනූ ජාත්‍යන්තර තරගවලටද සහභාගි වූ ක්‍රීඩිකාවකි. එහෙත් සිය කතාවේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් දිනාගත්තේ යැයි සඳහන් කළද ඇය එවැන්නක් දිනාගෙන නැති බවද, ආසියානු ක්‍රීඩා උළෙලේදී ද තමන් මුල් වටයන් දිනූ බව හැඟවෙන සඳහනක් කළද ඈ එහිදී ද මූලික වටයෙන් ඔබ්බට ගොස් නැති බවද ක්‍රීඩා වාර්තාකරුවෝ පවසති. මේ අතර සම්මානය පිරිනැමුණු ශිෂ්‍යාව පිහිනුම් තරගවලදී සමස්ත ලංකා පාසල් මට්ටමේ වාර්තා තුනක් පිහිටවූ ක්‍රීඩිකාවකි. ජාතික ශූරතාව දිනා ඇත්තියකි. ඇයද ලෝක කනිශ්ඨ පිහිනුම් ශූරතාව ඇතුළු ජාත්‍යන්තර පිහිනුම් තරගවලට සහභාගි වී තිබේ. දකුණු ආසියානු මට්ටමේ පදක්කම් දිනා සිටින්නීය.
තමන්ට අසාධාරණයක් සිදුවූයේ යැයි කියන බාලිකාව ස්කොෂ් ක්‍රීඩිකාවක් බව අපි ඉහත සඳහන් කළෙමු. ස්කොෂ් යනු අපේ රටේ පාසල් පනහකට අඩු සංඛ්‍යාවක් සහභාගිවන ක්‍රීඩාවකි. එහෙත් සමස්ත ලංකා පාසල් පිහිනුම් තරග සඳහා පාසල් තුන්සිය පනහක පමණ සහභාගීත්වයක් තිබේ. ඒ නිසා අඩු පිරිසක් සහභාගි වන ක්‍රීඩාවකින් ජාතික මට්ටමට ගිය ක්‍රීඩිකාව වෙනුවට ඉතා වැඩි පිරිසක් සහභාගිවන ක්‍රීඩාවකින් සමස්ත ලංකා පාසල් මට්ටමේ වාර්තා පිහිටවූ ක්‍රීඩිකාවට සම්මානය ලබා දුන් බව පාසල පැත්තෙන් කියවෙන කතාවයි.
ඒ අතර තමන්ට අසාධාරණයක් සිදුවූයේ යැයි කියමින් නැගී සිටි බාලිකාව වෙනුවෙන් රටේ විශාල පිරිසක් පෙනී සිටියේ මන්ද යන්නද ඉතා හොඳින් තේරුම් ගත හැකි කාරණයකි. අපේ රටේ සියලු දෙනාටම පාහේ තමන්ගේ පාසල් කාලයේදී ගුරුවර ගුරුවරියන්ගෙන් සිදුවූ අසාධාරණකම් පිළිබඳ ඇරියස් තිබේ. අපේ පාසල් පද්ධතිය තුළ දක්ෂ දරුවන්ට වඩා ගුරුවරුන්ගේ දරුවන්ට නැත්නම් ගුරුවරුන් ප්‍රිය කරන ළමයින්ට ප්‍රමුඛතාවය ලැබෙන බව ඉතා ප්‍රසිද්ධ කාරණයකි. ඒ සම්බන්ධයෙන් නිහඬව සිටීමට සිදුවූ පරම්පරා ගණනාවක් තමන්ට අසාධාරණයක් සිදුවූයේ යැයි කියමින් නැගී සිටි ශිෂ්‍යාව තුළින් තමන්වම දුටුවාට සැකයක් නැත. එතැනදී ඔවුන් හරි වැරැද්ද ගැන කරදර නොවී චෝදක ශිෂ්‍යාව වෙනුවෙන් පෙනී සිටීමේ පුදුමයක් නැත.
මෙහිදී ඇතැම් ගුරුවරුන්ගේ අසාධාරණයට ලක්වන ළමයින් වෙනුවෙන් නැගී සිටි සියලු දෙනාගේ අවධානයට ලක්විය යුතු වැදගත් කාරණයක් තිබේ. ඒ ලබන මාසයේදී අධ්‍යාපන ඇමැතිනියද වන අගමැතිනිය විසින් හඳුන්වා දෙන්නට යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු වාර විභාගවලදී මතු නොව රජයේ විභාගවලදීද ගුරුවරුන්ට තමන්ගේ ප්‍රියයන්ට විභාග ලකුණුවලින් සියයට පනහක් ලබාදීමට අවස්ථාව දෙන පසුගාමී වැඩපිළිවෙළක් බවය. නිදහස් අධ්‍යාපනයෙන් සියලු දෙනාට රජයේ විභාගවලින් සමර්ථවීමට තිබූ සමාන අවස්ථාව මෙයින් පසු නැති කෙරෙන අතර ගුරුවරුන්ගේ ප්‍රියයන්ට මුළු ලකුණුවලින් අඩක් පාසලේදීම ලබා ගැනීමට අනගි අවස්ථාවක් ලැබේ. ඇතැම් පාසල් ගුරුවරුන්ගෙන් ළමයින්ට සිදුවන අසාධාරණයන් පිළිබඳ රට්ටුන්ට ඇති හැඟීම හා දැනීම ඊයේ පෙරේදා ෆේස්බුක් ඔස්සේ මනාව පෙනී ගියද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් අනාගත පරම්පරාවන්ට සිදුවන හානිය ඔවුන්ට නොපෙනී යාම පුදුමයට කාරණයකි.

