අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් 20% ක් දෙවරක් දත් මදින්නේ නෑ
24 September 2026 | ශිරාන් රණසිංහ
අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් 20% ක් දෙවරක් දත් මදින්නේ නෑ
24 September 2026 | ශිරාන් රණසිංහ
මුල් ළමාවියේ පසුවන මෙරට අවුරුදු 05 ට අඩු දරුවන්ගෙන් 32% කට අවශ්‍ය කරන නින්ද නොලැබෙන බවත්, එම වයස් ඛාණ්ඩයේ දරුවන්ගෙන් 20% ක ප්‍රමාණය දවසකට දෙවරක් දත් නොමදින බවත් අවුරුදු 5 ට සමීක්ෂණයකින් හෙළි වී ඇත.
මෙම වයසේ පසුවන දරුවන්ගෙන් 43% ක් ආහාර ගන්නේ ජංගම දුරකථනය හෝ වෙනත් ස්ක්‍රීන් එකක් මත අවධානය යොමුකරමින් බවද මේ පිළිබඳ කරුණු අනාවරණය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.
ජාතික ළමා සතිය ලබන 25 සිට ඔක්තෝබර් 01 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර ඊට සමගාමීව මුල් ළමාවිය ජාතික වැඩසටහන සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (23 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා මේ බැව් සඳහන් කළේය.
මුල් ළමා විය පාසල් ළමුන් 1100 ක් හා පාසල් 55 ක් ආවරණය වන පරිදි පළාත් හතරක මෙම සමීක්ෂණය කර ඇත.
මීට අමතරව මෙම වයසේ පසුවන දරුවන්ගෙන් සියයට 64ක් දිනකට පැය භාගයකට වඩා ජංගම දුරකථනය හෝ පරිගණක තිරයත් සමග කාලය ගත කරන බවද සමීක්ෂණයේදී හෙළි වී ඇත. ලෝක සෞඛ්‍යය සංවිධානය කියා ඇත්තේ එම කාලය පැය භාගයකට වඩා අඩුවිය යුතු බවය. මෙරට පියවරු පිළිබඳ සැලකිල්ලට ගැනීමේදී පියවරු ඉතා අඩු කාලයක් දරුවන් සමග රැඳී සිටින බවද සමීක්ෂණයේදී හෙළි වී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය එක්ව මුල් ළමාවිය සංවර්ධනය කිරීම සඳහා යම් වැඩපිළිවෙළක් සැකසූ බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරයි. ඒ අනුව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන හරහා දීප ව්‍යාප්තව මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නංවන බවද ලේකම්වරයා එහිදී සඳහන් කළේය.
ඒ අනුව මුල් ළමාවිය විප්ලවයකට ලක්කර මේ දරුවන්ට හොඳ චර්යාත්මක, ධනාත්මක පුරුදු ඇතිකර හොඳ සෞඛ්‍ය සම්පන්න පරපුරක් බිහි කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන කටයුතු කරගෙන යන බව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙහි සහකාර අධ්‍යක්ෂ ජනක ඩී.බණ්ඩාර හේරත් එහිදී සඳහන් කළේය. ඒ අනුව රුපියල් මිලියන 663.88 ක් මේ සඳහා වැයකිරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

