Best News Website award
brand logo
logo
අමෙරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සියේ (CIA) පරිගණක ජාලයකට සයිබර් ප්‍රහාරයක්

අමෙරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සියේ (CIA) පරිගණක ජාලයකට සයිබර් ප්‍රහාරයක්

25 November 2026


අමෙරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සියේ (CIA) පරිගණක පද්ධතියකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


මෙහිදී රහස්‍ය නොවන තොරතුරු හසුරුවන පරිගණක පද්ධතියකට අනවසර ප්‍රවේශයක් සිදුව ඇති නමුත්, අතිශය සංවේදී දත්ත සඳහා ඉන් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව සඳහන් වේ. CIA ආයතනය සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය (ODNI) විසින් භාවිත කරන පරිගණක ජාලයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ද මීට පෙර අනාවරණය කර තිබුණි.


ප්‍රසිද්ධියේ ලබාගත හැකි රහස්‍ය නොවන තොරතුරු විශ්ලේෂණය කර බුද්ධි තොරතුරු රැස් කිරීම සඳහා මෙම පද්ධතිය භාවිත කර ඇත. කෙසේ වෙතත්, හැකර්වරුන් විසින් ලබාගෙන ඇති දත්ත මොනවාද යන්න හෝ මෙම ප්‍රහාරය පිටුපස සිටින පාර්ශ්වය කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු හෙළි වී නොමැත.


මේ පිළිබඳව කළ විමසීමකදී ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය පවසා ඇත්තේ, අත්‍යවශ්‍ය මෙහෙයුම් කටයුතුවලට හෝ රහස්‍ය පද්ධතිවලට ඉන් බාධාවක් සිදුව නොමැති බවය. එහෙත් CIA ආයතනය මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.


මෙම මාසය තුළදී අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු තවත් රාජ්‍ය ආයතන කිහිපයකට ද සයිබර් ප්‍රහාර එල්ල වී තිබූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.


මේ අතර, ගුවන් සේවා, බැංකු සහ බහුලව භාවිත වන මෘදුකාංග පද්ධතිවල ඇති වූ තාක්ෂණික බිඳවැටීම් කිහිපයකින් පසුව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාතික බුද්ධි අධ්‍යක්ෂ ජේ ක්ලේටන් මහතාව වැඩබලන ජාතික සයිබර් අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමට ද පියවර ගෙන තිබේ.

 

More News..