ඡන්දදායකයකු වෙනුවෙන් අපේක්ෂකයෙක්ට වියදම් කළ හැකි මුදල
25 January 2023 | සාලිය කුමාර ගුණසේකර
ඡන්දදායකයකු වෙනුවෙන් අපේක්ෂකයෙක්ට වියදම් කළ හැකි මුදල
25 January 2023 | සාලිය කුමාර ගුණසේකර
මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින ඡන්ද අපේක්ෂකයකුට එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් 15 ක් බවට පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (24) යෝජනා කර ඇත.
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට අනුව මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට තරග කරන අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ වියදම් කළ හැකි අවසර ලත් මුදල කොපමණදැයි මැතිවරණ කොමිෂන් සභාව ඉදිරියේදී දැනුම්දීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත ඉකුත් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර,එය කථානායකවරයාගේ අත්සන සඳහා මේ වනවිට යොමුකර ඇත. කථානායකවරයා අත්සන් කිරීමෙන් පසුව අදාළ පනත ක්‍රියාත්මක වේ.
එම පනතට අනුව නාම යෝජනා භාරගත් දිනයේ සිට දින පහක් ඇතුළතදී එක් එක් අපේක්ෂකයාට වියදම් කළ හැකි අවසරලත් මුදල මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කළ යුතුය. එහිදී කොමිෂන් සභාව කටයුතු කිරීමේදී මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වලින් අදහස් විමසා සිටිය යුතු බවද අදාළ පනත් කෙටුම්පතේ සඳහන්ය.
ඒ අනුව, එක් එක් අපේක්ෂකයාට අදාළව වියදම් කළහැකි මුදලේ සීමාව සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන කණ්ඩායම් සමග දිස්ත්‍රික් මට්ටමින් පෙරේදා (23) සාකච්ඡා කර අදහස් ලබාගත් අතර,දේශපාලන පක්ෂ ලේකම්වරු සමග ඊයේ (24) සාකච්ඡා කරනු ලැබීය.
එහිදී ඇතැම් පක්ෂ ලේකම්වරු මුලින්ම යෝජනා කර ඇත්තේ ඡන්දදායකයකු සඳහා අපේක්ෂකයකු රුපියල් 300 ක් වැය කිරීම සුදුසු බවය. පසුව එය රුපියල් 15 ක් දක්වා අඩුවී තිබේ. නමුත්, රුපියල් 15 ක් වැනි මුදලක් වැය කිරීම ප්‍රායෝගික නොවන බවද මෙහිදී කතා බහට ලක්ව තිබේ.
එමෙන්ම,පක්ෂයකට එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල අපේක්ෂකයකු වැය කරන මුදලින් සියයට 60 කි. එනම්, පක්ෂයකට ඡන්දදායකයකු සඳහා වැය කළ හැකි මුදල රුපියල් 7.50 ත් 8 ත් අතර මුදලකි.
දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අදහස් සියල්ල මැතිවරණ කොමිෂන් සභාව සලකා බලා කොට්ඨාස නියෝජනය කරන එක් එක් අපේක්ෂකයන්ට, අතිරේක ලැයිස්තුවේ සාමාජිකයන්ට, දේශපාලන පක්ෂවලට මැතිවරණයේදී වැය කළ හැකි උපරිම මුදලේ සීමාව සම්බන්ධව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද කොමසාරිස් ජනරාල්වරයා කීවේය.
මැතිවරණ දෙපාර්තමේන්තු යුගයේ සිට මැතිවරණ කොමිෂන් සභා පිහිටුවූ පසුවත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමග මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත 2016 වසරේ සිට කැබිනට් මණ්ඩල දෙකකට ඉදිරිපත් කරනු ලැබූවද, පනත සම්මත වී ක්‍රියාත්මක වන මට්ටමට එය පාර්ලිමේන්තුවට නොපැමිණියේය.
මෙම පනත ක්‍රියාත්මක වන මට්ටමට කටයුතු කිරීම සම්බන්ධව අධිකරණ ඇමැතිවරයාට ගෞරවය හිමිවිය යුතු බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.