brand logo
logo
 2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

08 September 2026


ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.


බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය එක්ව 67වෙනි වරටත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ සංවිධානය කර තිබූ අතර, 2025 වසරේ ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට ස්වකීය විශිෂ්ට නිර්මාණ දායකත්වයෙන් කළ සේවය අගයමින් ඉසව් 50කට අධික සංඛ්‍යාවකගෙන් ලේඛක ලේඛිකාවෝ රැසක් මෙහිදී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ.


මීට අමතරව, සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාහිත්‍යකරණයෙහි නිරත වෙමින්, මෙරට සාහිත්‍ය ක්ෂේත‍්‍රයට අනුපමේය සේවයක් ඉටු කළ සාහිත්‍ය නිර්මාණකරුවන් තිදෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන “සාහිත්‍යරත්න” ගෞරව සම්මානය පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.


සිංහල මාධ්‍ය වෙනුවෙන් කිවියර පරාක්‍රම කොඩිතුවක්කු මහතා ද, දෙමළ මාධ්‍ය වෙනුවෙන් කිවියර සෝමසුන්දරම්පිල්ලේ පද්මනාදන් මහතාද, ඉංග්‍රීසි මාධ්‍ය වෙනුවෙන් සම්මානනීය මහාචාර්ය ඊ.ඒ. ගාමිණී ෆොන්සේකා මහතාද මෙලෙස එම සම්මානයෙන් පිදුම් ලැබූහ.


2026 වසරේදී සාහිත්‍ය සම්මානයට පාත්‍ර වූ ග්‍රන්ථ කට්ටලය, සමරු කලාපය සහ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාත්‍රයෙන් ලියැවුණු 2026 සාහිත්‍ය කලාපයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.


මෙහිදී අදහස් දැක්වූ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව ප්‍රගතියේ ගමන් මාවතට ප්‍රවිශ්ට කරවා ගැනීමට පසුගිය දෙවසර තුළ හැකි වූ බවත්, පසුගිය දෙවසර සමාජ පරිවර්තනයේ දෙවසර බවත්ය.


ශිෂ්ටාචාරමය වෙනසක් සහ ආයෝජනයක් වන එම සමාජ පරිවර්තනය වෙනුවෙන් කලා සහ සංස්කෘතික ක්ෂේත්‍රය ලබා දුන් දායකත්වය අනුපමේය බවත්, ඒ වෙනුවෙන් කැප වූ සියලුදෙනා වෙත කෘතවේදීත්වය පළ කරන බවත් අමාත්‍යවරයා පැවසීය.


එමෙන්ම, පසුගිය දෙවසර තුළ මෙරට කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට හැකි වූ බවත්, දීර්ඝකාලීන අවශ්‍යතාවක්ව පැවති සමකාලීන කලාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජාතික ප්‍රතිපාදනයක් සකස් කර ගැනීම, ඈත ගම්මානවල වෙසෙන කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ජනතාව වෙනුවෙන් සංස්කෘතික මධ්‍යස්ථානවල පහසුකම් වැඩිදියුණු කිරීම, කලා මණ්ඩල පනත ඇතුළු පනත් 05ක් සංශෝධනය කිරීම හෝ අලුතින් සම්පාදනය කිරීම ඒ අතර ප්‍රමුඛ වන බවත්, මෙරට කලා සංස්කෘතික ක්ෂේත්‍රය බාධාවකින් තොරව නූතන අවශ්‍යතා සමග ගළපාගෙන ඉදිරියට ගෙන යාමට එය අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික නායකයෝද, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ කේ.එස්. දිල්හානි, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ, රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති කමල් පෙරේරා යන මහත්ම මහත්මීහුද, විද්වතුන්, ලේඛකයන්, කලාකරුවන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 




 

More News..