ලාෆ් බලධාරින්ට හදිසි කැඳවීමක්
16 November 2026 | ගයාත්‍රි ගීගනආරච්චි
ලාෆ් බලධාරින්ට හදිසි කැඳවීමක්
16 November 2026 | ගයාත්‍රි ගීගනආරච්චි
ලාෆ් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ලාෆ් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවීමට එම අධිකාරිය පියවරගෙන තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ ඒ අනුව අද (16 වැනිදා ) උදෑසන 10ට පැමිණ මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස අදාළ සමාගමේ නිලධාරීන්ට දැනුම් දී ඇති බවයි. පසුගිය 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල ගණන් ඉහළ දැමීමට එම සමාගම පියවරගෙන තිබිණි. ඒ අනුව මෙතෙක් රුපියල් 4,965ක් ලෙස පැවැති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 6,740ක් වේ.
එමෙන්ම රුපියල් 1,988ක් ලෙස පැවැති කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වී ඇත්තේ රුපියල් 2,720ක් ලෙසය.
පසුගිය දින කිහිපය පුරා වෙළෙඳපොළ තුළ ලාෆ් ගෑස් හිඟයක් ද පැවතුණු අතර අඛණ්ඩව පාරිභෝගික සේවා සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය ලාෆ් ගෑස් සමාගමට එරෙහිව අධිකරණයේ නඩුවක් ද පවරා තිබේ.


