brand logo
logo
අපනයන ආදායමේ  17%ක වර්ධනයක්

අපනයන ආදායමේ 17%ක වර්ධනයක්

28 October 2026 | සාලිය කුමාර ගුණසේකර


ඉතිහාසයේ මුල් වරට මෙරට අපනයන ආදායම ඉකුත් සැප්තැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,691 ක් දක්වා වර්ධනයවී තිබෙන බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ පැවසීය.


එය ඉකුත් වසරේ (2026) සැප්තැම්බර් මාසය සමග සැසඳීමේදී 17.2% වර්ධනයක් බවද ඔහු කියා සිටියේය.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (26 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.


ඉකුත් සැප්තැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,385 ක් වන බවත්, එය ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 21.6 ක වර්ධනයක් බවද ඔහු කීවේය.


සැප්තැම්බර් මාසයේදී සේවා අංශයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 306 ක ප්‍රමාණයක් වාර්තා වන බවද ඔහු පැවසීය.


පසුගිය ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුලදී මෙරට සමස්ත අපනයන කාර්ය සාධනය ඇමරිකානු ඩොලර් මිලියන 13,612 ක සීමාවකට මුල්වතාවට ළඟාවී තිබෙන බවද සභාපතිවරයා කීවේය.


මෙහිදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,761 ක්ද, සේවා අංශයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,850 ක් වාර්තා වන බවද ඔහු කියා සිටියේය.


මේ වසරේ මුල් මාස 09 තුළ වෙළෙඳ භාණ්ඩ අපනයන අතරින් පොල් ආශ්‍රිත නිෂ්පාදන, රබර් ආශ්‍රිත නිෂ්පාදන, සැකසූ ආහාර පාන වර්ග, විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපාංග, කුළු බඩු කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවද ඔහු පැවසුවේය.


සේවා අංශය යටතේ තොරතුරු තාක්ෂණ අංශය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, ප්‍රවාහන යන ක්ෂේත්‍රවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවද ඔහු කීවේය.


අපනයන රටවල් ලෙස ගත්විට තවමත් මෙරට අපනයන සඳහා ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ස්ථානයේ සිටින බවත්, එමෙන්ම ඉන්දියාව, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, ජපානය ආදී රටවල් මෙරට අපනයන සඳහා කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවද සභාපතිවරයා පැවසුවේය.


මේ වසරේදී ඩොලර් බිලියන 18 ඉක්ම වූ වාර්තාගත ඉලක්කගත අපනයන ආදායමක් බලාපොරොත්තු වන බව ද ඔහු කීවේය.

 

More News..