Best News Website award
brand logo
logo
එළවළු කිලෝව රුපියල් 1000ක් වෙයි

එළවළු කිලෝව රුපියල් 1000ක් වෙයි

24 November 2026 | සාලිය කුමාර ගුණසේකර / සිතාර ඉරාෂ් - වටවල


වෙළෙඳ‌පොළේ එළවළු කිලෝවක සිල්ලර මිල රුපියල් 800 ත් 1,000 ත් අතර මිලක් දක්වා ඉහළ යෑම නිසා පාරිභෝගික ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටිති.


මේ අතර, මාළු මිරිස් සහ දෙහි කිලෝවක මිල රුපියල් 1,000 ඉක්මවා ඇතැයි වෙළෙඳපොළ තොරතුරු සඳහන් කරයි. ඊයේ (23 වැනිදා) දිනය වන විටදී වියළි මිරිස් කිලෝවක තොග මිල රුපියල් 1,950 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.


වෙළෙඳ‌පොළේ අඩුම තොග මිල පැවැතියේ කැකිරි සඳහා පමණි. කැකිරි කිලෝවක තොග මිල රුපියල් 40 ත් 45 ත් අතර මිලක පැවැතියද, කැකිරි කිලෝවක් සිල්ලර වෙළෙඳ‌පොළේ රුපියල් 200 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. එළවළු සිල්ලර වෙළෙඳුන් කියා සිටින්නේ එළවළු අලෙවිය මේ වනවිට විශාල ලෙස පහත වැටී තිබෙන බවය. ඉදිරි දිනවලදී එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ යාහැකි බව ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරයි.


ආනයනික රතු ලූනු කිලෝවක තොග මිල රුපියල් 620 ත් 730 ත් අතර පරාසයක පවතින අතර, කිලෝවක සිල්ලර මිල රුපියල් 800 ඉක්මවා ඇත. උම්බලකඩ කිලෝවක් රුපියල් 2,500 ත් 2,800 ත් අතර තොග මිලකට අලෙවි කෙරේ.


කීලං කරවල කිලෝවක තොග මිල රුපියල් 2,500 ත් 2,800 ත් අතර පරාසයක පවතින අතර, හාල්මැස්සන් කිලෝවක තොග මිල රුපියල් 1,200 ත් 1,600 ත් අතර වේ.


 

More News..