සඟවා තිබූ ගිනි අවි උණ්ඩ අඟුරුවාතොටින් සොයාගනී
25 November 2026 | නයෝමි කරුණාසිංහ
සඟවා තිබූ ගිනි අවි උණ්ඩ අඟුරුවාතොටින් සොයාගනී
25 November 2026 | නයෝමි කරුණාසිංහ
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සැකකරුවකුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත හොරණ අඟුරුවාතොට ප්‍රදේශයේ සඟවා තිබූ ටී56 හා එම්60 වර්ගයේ ගිනි අවි උණ්ඩ තොගයක් සොයාගනීමට එම කොට්ඨාසයේ නිලධාරිහු පෙරේදා (23 වැනිදා) සමත් වූහ.
ඔක්තෝබර් 20 වැනිදා හොරණ, අඟුරුවාතොට ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට සූදානම් වෙමින් සිටියදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. එහිදී සැකකරු සන්තකයේ තිබී ටී56 වර්ගයේ ගිනි අවියක්, මැගසිනයක් සහ එම වර්ගයේ උණ්ඩ 16ක් පොලිස් භාරයට ගැනිණි.
සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිදු කරන ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ තොරතුරු අනුව අඟුරුවාතොට ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ටී56 උණ්ඩ 90ක්, එම්60 වර්ගයේ උණ්ඩ 23ක් සහ මාංචු කුට්ටමක් මෙලෙස සොයාගෙන ඇත.
මෙහිදී සොයාගත් එම්60 වර්ගයේ උණ්ඩ ඇමරිකාවේ නිෂ්පාදිත මැෂින් තුවක්කු සඳහා භාවිත කරන 7.62 x 51mm NATO වර්ගයේ උණ්ඩ බවත් මෙරට එම වර්ගයේ ගිනි අවි භාවිත කරනු ලබන්නේ ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය පමණක් බවත් පොලිසිය සඳහන් කළේය.
මෙම අපරාධ සැලසුම් පිටුපස සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකු වන 'කොස් මල්ලි' සහ 'රත්මලානේ රසල් ස්මිත්' යන අයගේ සම්බන්ධතාවක් පවතින බවට ද අනාවරණය වී තිබේ.
පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ චමින්ද ධර්මරත්නගේ ඍජු අධීක්ෂණය යටතේ එම කොට්ඨාසයේ ඒකක 03 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් අංජන ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරේ.


