Best News Website award
brand logo
logo
රාජාංගනයේ සද්ධාරතන රිමාන්ඩ්

රාජාංගනයේ සද්ධාරතන රිමාන්ඩ්

18 November 2026


රුවන්වැලි සෑ පරිශ්‍රය ආසන්නයේ පැවති සත්‍යග්‍රහය අතරතුර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ, රාජාංගනයේ සද්ධාරතන නමැත්තා මේ මස 26වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කර ඇත.


රුවන්වැලිසෑ පුදබිම ආසන්නයේ දන්සැල් භූමියේ බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසක් විසින් පවත්වාගෙන ගිය මාරාන්තික උපවාසය අතරතුර, ඉකුත් 12 වැනිදා පිරිසක් සමග එම ස්ථානයට පැමිණ ගැටුමක් ඇති කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සද්ධාරතන ඇතුළු සිව්දෙනෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


පොලිසිය සඳහන් කළේ ශ්‍රාවස්තිපුර අලුත්වැව, දෙව්රම්වෙහෙර විහාරස්ථානයේ සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවය.


අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සද්ධාරතන නැමැත්තා ඇතුළු අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි, අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (17) නියෝගයක් නිකුත් කර තිබුණි.


ඒ අනුව එම ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන ඇතුළු කිහිපගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා අද අනුරාධපුර පොලීසිය වෙත රැගෙන එනු ලැබීය.

 

More News..