brand logo
logo
මන්දපෝෂණයත් සමග රටට හෙණ ගෙඩියක්

මන්දපෝෂණයත් සමග රටට හෙණ ගෙඩියක්

05 June 2026 | •ශිරාන් රණසිංහ

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන් පස්දෙනකුගෙන් එක් අයකු මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හෙළිකර ඇත. ඔහු මේ බව හෙළි කළේ ජාතික පෝෂණ මාසය ජුනි මසට යෙදී තිබීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙරට දරුවන්ගේ පෝෂණ තත්ත්වයේ ඉරණම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාම මෙලෙස හෙළි කළේ රටේ පෝෂණ මට්ටම සඟවා තබාගෙන පලක් නොමැති නිසා විය හැකිය. මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් පහෙන් එකක් එසේත් නොමැති නම් සියයට විස්සක් මන්දපෝෂණ දරුවන් නම් රටේ අනාගතය ඇත්තේ මහා ඛේදවාචකයකය.


2025 ජාතික පෝෂණ මාසයේ දත්තවලට අනුව අවුරුදු පහට අඩු දරුවන්ගෙන් මිටි බව (Stunting) සියයට 10.1කි. කෘශ=බව (Wasting) සියයට 8.6කි. අඩු බර (under weight) සියයට 16.1කි. අධි බර/ තරබාරුකම (over weight) 0.57කි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ පෝෂණ ඌනතාව දිනෙන් දින උග්‍රවෙමින් තිබේ. එක අතකට මෙය පුදුමයට කාරණයක් ද නොවේ. දරුවන්ට හා විශේෂයෙන්ම ගැබිනි මව්වරුන්ට අවශ්‍ය පෝෂදායී ආහාරපාන ලබාදීම රටේ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ අද වන විට බරපතළ අභියෝගයක් බවට පත්ව ඇත. 2022 වසරේදී මේ රට බංකොලොත් වී ගිය පසු කෑම බීම මිල පමණක් නොව ඉන්ධන, ගෑස්, විදුලි ගාස්තුද පෙර කිසිකලක නොවූ ආකාරයට ඉහළ ගියේය. ඇතැම් පවුල්වල පියා හෝ මව මාසිකව උපයන ආදායම සතියකටවත් ජීවත්වීමට ප්‍රමාණවත් නැත.


දරු උපත් අඩු වෙලා

කොරෝනා (කොවිඩ් 19) වසංගතයට පෙර එනම් 2020 වසරට පෙර ශ්‍රී ලංකාව තුළ වාර්ෂික දරු උපත් ප්‍රමාණය දළ වශයෙන් ලක්ෂ හතරක් පමණ යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්තවල ඇත. එහෙත් කොරෝනා වසංගතයෙන් පසු මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාව දෙලක්ෂ විසිදහස දක්වා පල්ලම් බැස ඇත. පුංචි පවුල රත්තරන් කියා සංකල්පයක් ගෙන ආවේ මීට දශක කිහිපයකට පෙරය. එහෙත් මේ වන විට මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාව ලක්ෂ හතරේ සිට දෙලක්ෂ විසිදහසකට අඩුවීම රටේ අනාගතයට නරක බලපෑමක් බව කිව යුතුය.


මෙය අනාගත ශ්‍රම බළකාය පිළිබඳ ගැටලුවක්ද මේ දරු උපත් අඩුවීම පිටුපස නිර්මාණය වෙමින් ඇතැයි වෛද්‍යවරු පෙන්වා දෙති. දරු උපත් භාගයකට භාගයකින් පමණ අඩුවීමට හේතු වී ඇත්තේ කුමක්ද? දැනට කිසිවෙක්ට ඊට හේතු වී ඇති කාරණා පිළිබඳ නිශ්චිත හේතු පැවැසිය නොහැකිව ඇත. කොරෝනා වයිරසයට එරෙහිව සිදුකළ එන්නත්කරණය මීට බලපා ඇත්නම් ලෝකයේ අනෙක් රටවල්වලද මේ තත්ත්වය ඇතිවිය යුතු බව වෛද්‍යවරු මතුකරන ප්‍රශ්නයකි. නමුත් ලෝකයේ සෙසු රටවල එවැනි තත්ත්වයක් නැත.

කොරෝනා වසංගතය පැවැති සමයේ විවාහ කල් දැමිණ. ඒ හේතුව නිසා වසරක් දෙකක් දරු උපත්වල පහළයාමක් සිදුවුවත් දැන් වසර හයක් ගතවී ගොසිනි. තරුණ තරුණියන් විදෙස් ගතවීම, පවතින ආර්ථික අර්බුද හමුවේ විවාහ පමාවීම සහ බොහෝ අය පවුලක දරු උපත් ප්‍රමාණය එක් අයකුට හෝ දෙදෙනකුට සීමා කිරීම ආදිය දරු උපත් අඩුවීමට හේතු ලෙස ගෙන හැර දැක්විය හැකි බව වෛද්‍යවරු මතුකරන හේතුන් අතර ඇත.


ගැබිනි මව්වරුන්​ගේ ඉරණම

2025 වසරේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වාර්තාවලට අනුව මෙරට ගර්භණී මව්වරුන්ගෙන් සියයට 13.2ක් පළමු මාස තුනේදී අඩුබරින් යුක්ත බව තහවුරු වී ඇත. මාතෘ සායනයට පැමිණ ලියාපදිංචි වූ ගර්භණී මව්වරුන්ගෙන් 14.3ක් මධ්‍යස්ථ සහ උග්‍ර මට්ටමේ රක්තහීනතාවයෙන් ​පෙළෙන බව තහවුරු වී ඇත. 2021 වස​රේ සෞඛ්‍ය අමාත්‍යංශය කළ සමීක්ෂණයකට (STEPS) අනුව වැඩිහිටි කාන්තාවන්ගෙන් සියයට 47.6ක් සහ වැඩිහිටි පිරිමින්ගෙන් සියයට 30ක් අධිබරින් යුක්ත බව හෙළි වී තිබේ.


එපමණක් නොව මෙරට වැඩිහිටි කාන්තාවන්ගෙන් සියයට 15.2ක් සහ වැඩිහිටි පිරිමින්ගෙන් සියයට 6.3ක් ස්ථුලභාවයෙන් පෙළෙන අයවලුන් ලෙස හඳුනාගෙන ඇත. මේ දත්ත දෙස බලන කල මෙරට ජනගහනයෙන් විශාල පිරිසක් බෝනොවන රෝගවලින් පෙළෙති. සෞඛ්‍ය අමාත්‍යාංශය කියන පරිදි ශ්‍රී ලාංකිකයන්ගේ පෝෂණ තත්ත්වය ඉතා දුර්වලවය. මන්දපෝෂණය, අධිබර, ස්ථුලභාවය, ආහාර නිසා ඇතිවන රෝග මෙන්ම ක්ෂුද්‍ර පෝෂණ ඌනතාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇත.


තුන්වේල ප්‍රමාණවත්

ශ්‍රී ලාංකික අපගේ ප්‍රධාන ආහාර වේල් ගණන තුනකි. උදෑසන දිවා හා රාත්‍රි ආහාර වේල් තුනක් ​හොඳටම ප්‍රමාණවත්ය. බරපතළම ප්‍රශ්නය වී ඇත්තේ සිරුරට අහිතකර කෙටි ආහාරවලට මේ රටේ ජනතාව පුරුදුවී සිටීම යැයි වෛද්‍යවරු පවසති. මේ රටේ බොහෝ දෙනෙක් සකස් කරන ලද (Processed) සහ අධි සැකසූ (Ultra - Processed) ආහාර කෑමට පුරුදු වී සිටිති. මේ බොහෝ ආහාරවල සීනි අධිකය. ලුණු අධිකය. අධික කැලරි ප්‍රමාණයක් අඩංගුය.

කෙටි ආහාර හේතුවෙන් කුසගිනි සංඥා පද්ධතිය බිඳ වැටේ. නිතර නිතර කෙටි ආහාර ගැනීම සිරුරට ඉතා අහිතකර බව වෛද්‍යවරු පෙන්වා දෙන කාරණයකි. ප්‍රශස්ත ශරීර ස්කන්ධ දර්ශකයක් (BMI) සහිත නිරෝගී වැඩිහිටියකුට නිතර නිතර කෙටි ආහාර ගැනීම අවශ්‍ය නැත. ඒ බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී ඇත. දවස පුරා විටින් විට කෙටි ආහාර ගන්නා අයකුගේ කුසගිනි හඳුනා ගැනීමේ සංඥා පද්ධතිය අවුල් වී යා හැකිය. එපමණක් නොව එය දියවැඩියාව, හෘද රෝග මෙන්ම ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇතිවීමට හේතු විය හැකි බව විද්‍යාත්මකව තහවුරු වී ඇත. පෝෂණීය ලෙස සකසා ගන්නා ප්‍රධාන වේල් තුන ගන්නා අයකුට ආහාර රුචිය මැනවින් පාලනය කරගත හැකිය.


කෙසේ වෙතත් වැඩි පෝෂණ අවශ්‍යතාව සහිත දරුවන්, තරුණ වියේ අය සහ අවදානම් සහිත අය සෞඛ්‍ය සම්පන්න, පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් යුත් කෙටි ආහාර ගැනීමේ වරදක් නොමැති බවද වෛද්‍යවරු කියා සිටිති.


සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර මොනවාද?

නැවුම් පලතුරු (කෙසෙල්, පැපොල්, පේර, අඹ) නැවුම් එළවළු (අමු හෝ අවම ලෙස තැම්බූ) තෙල් සහිත ඇට (රටකජු, කජු, තල, වට්ටක්කා ඇට) කඩල, කවුපි, අල, බතල, මීකිරි, සීනි රහිත යෝගට්, තැඹිලි, බෙලිමල්, රණවරා, කොළ කැඳ ආදිය සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර වර්ගයන්ය.


මේවා කන්න එපා

පැණි බීම, කෝඩියල්, සීනි එකතු කළ කිරි පැකට්, බිස්කට්, කේක්, රස කැවිලි, බේකරි නිෂ්පාදන, ඇසුරුම් කළ පාන්, බනිස්, ඇසුරුම් කළ අතුරු පස, ලුණු, සීනි, පැකට් කළ චිප්ස්, ගැඹුරු තෙලේ බැදපු ආහාර ආදිය කෙටි කෑම ලෙස ගැනීම නතර කළ යුතුය. අපේ රටේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට විස්සක් මන්දපෝෂණයෙන් පෙළෙද්දී ගැබිනි මව්වරුන්ගෙන් සියයට 13.2 ක් මුල් මාස තුනේදී අඩු බරින් නම්, මාතෘ සායනයේ ප්‍රථමවරට ලියාපදිංචි වන ගැබිනි මව්වරුන්ගෙන් සියයට 14.5 ක් රක්තහීනතාවයෙන් (ලේ අඩුකමින්) පෙළෙන්නේ නම් රටේ ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ තවත් සහතික කුමකටද?


මෙකී දත්ත පද්ධතියත් සකසා ඇත්තේ සෞඛ්‍ය බලධාරින් විසිනි. මහ පොළොවේ යථාර්ථය මීටත් වඩා දරුණු අඩියක තිබෙන්නට පුළුවන. මේ කාරණා, පසෙක තබා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පෙරේදා (03 වැනිදා) කළ හෙළිදරව්වෙන්ම මේ සටහන අවසන් කිරීම වටී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා එහිදී මෙසේ කියා සිටියේය. නිදහසින් පසුව ශ්‍රී ලංකාවට පෝෂණය අතින් ඉදිරියට යන්න බැරි වුණා. මන්ද පෝෂණය, අධි පෝෂණය, ක්ෂුද්‍ර පෝෂණය යන විෂම පෝෂණ ත්‍රිත්වය හමුවේ තත්ත්වය උග්‍ර අතට හැරිලා. කුඩා කාලයේ මන්ද පෝෂණයට ලක්වන දරුවන් වැඩි වියට පත් වූ පසු ස්ථූලභාවයට පත්වෙනවා. ඒ අනුව මෙරට වැඩිහිටි කාන්තාවන්ගෙන් සියයට 40 ක් සහ වැඩිහිටි පිරිමින් සියයට 30 ක් ස්ථුලතාවට පත්වෙලා. මින් කාන්තාවන් සියයට 14 ක් සහ පිරිමින් සියයට 6 ක් අධික ස්ථුලතාවට පත්වෙලා.


ස්ථුලතාව යනු දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝගාබාධවලට හේතු වන්නක්. සිරුරට අහිතකර කෙටි ආහාර ගැනීම අධෛර්යයට පත් කළ යුතුයි. සාමාන්‍ය ජනතාවට මිලදීගත හැකි මට්ටමට මේ පෝෂණීය ආහාරවල මිල අඩු කළ යුතුයි’’ කියාය. එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ මුළු රටේම කනබොන සියල්ලෙහි මිල අහස උසට නැග තිබෙන මේ මොහොතේදී මාළු කෑල්ලක් තබා හාල් මැස්සෙක්වත් මිලදී ගන්නට නොහැකි තැනට මේ රටේ ජනතාව පත්කර තිබීමය. වරද වත්මන් පාලකයන්ගේ නොවන්නට පුළුවන. එහෙත් මෙහෙම ගියොත් මේ රටේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට 80 ක්ම මන්දපෝෂණ දරුවන් වී යෑමටද බැරිකමක් නැත. වාර්ෂික දරු උපත් ගණන ලක්ෂ හතරේ සිට ලක්ෂ දෙකහමාරට අඩු වී ඇත්තේ දරුවන්ට තියා තරුණ අඹු සැමියන්ට තුන්වේල තියා පාන් කියා ගන්නටවත් නොහැකි නිසා දැයි අප දන්නේ නැත.


 

More News..