brand logo
logo
ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක්

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක්

02 July 2025

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට අදාළ කොන්දේසි සඳහා ඊශ්‍රායලය එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


ඔහු පවසන්නේ එම කාලය තුළ පලස්තීනයේ පවතින ඊශ්‍රායල-හමාස් යුද්ධය අවසන් කිරීමට තමා උත්සාහ කරන බවයි.


ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව පැවසුවේ සිය ටෘත් සොෂල් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින්ය.


කෙසේ නමුත් හමාස් සංවිධානය එම සටන් විරාම කොන්දේසිවලට එකඟ නොවුනහොත් තත්ත්වය දරුණු අතට හැරෙනු ඇති බව ඔහු එම සටහනේ අවධාරණය කර තිබේ.


ඊශ්‍රායල නිලධාරීන් සමග වොෂින්ටනයේ සටන් විරාම සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ට්‍රම්ප් එම සටහන තබා තිබුණි.


ගාසා තීරයේ අර්බුදය වර්ධනය වෙමින් පවතින පසුබිමක දෙපාර්ශවය අතර එම සාකච්ඡා සිදුවිය.


මේ අතර පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල වෙඩි තැබීම් සහ හමුදා ප්‍රහාරවලින් පුද්ගලයින් 112 දෙනෙකු මිය ගොස් 400කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ගාසා තීරයේ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පවසා තිබේ.


මේ අතර අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර හමුවක් පැවැත්වීමට නියමිත බවට වාර්තා වේ.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ,ඒ සඳහා එළඹෙන ජූලි 7 වැනිදා ධවල මන්දිරයේදී එම හමුව පැවැත්වීමට නියමිත බවයි.


නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල අගමැතිවරයා පැවසුවේ,මෙම සංචාරයේදී අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්, ට්‍රම්ප්ගේ මැද පෙරදිග නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් ඇතුළු ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බවයි.


සාකච්ඡාව අතරතුර ඉරානය, ගාසා තීරය, සිරියාව වැනි රටවලට අදාළ සහ අනෙකුත් අභියෝග පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි වොෂින්ටනයේ ඊශ්‍රායල නිලධාරියෙක් පවසා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

 

More News..