brand logo
logo
කැස්බෑවන් පෙන්වා මුදල් ඉපැයූ තිදෙනෙකු අත්අඩංගුවට

කැස්බෑවන් පෙන්වා මුදල් ඉපැයූ තිදෙනෙකු අත්අඩංගුවට

13 September 2026



කැස්බෑවන් සංචාරකයන්ට පෙන්වා මුදල් ලබාගනිමින් එම සතුන්ට හිංසා වන පරිදි හැසිරුණු තිදෙනෙකු උණවටුන සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තල්පේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23, 41 සහ 45 යන වයස්වල පසුවන තිදෙනෙකුය.


සංචාරකයන් ලවා කැස්බෑවන්ට ආහාර ලබාදීම, එම සතුන් අතින් උස්සා හිංසාකිරීම ඇතුළු චෝදනා කිහිපයක් මෙම සැකකරුවන්ට එල්ලවී ඇත.


මෙලෙස කටයුතු කරමින් විදේශිකයන්ගෙන් බලහත්කාරයෙන් මුදල් ලබාගැනීමට තැත්කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.


ශ්‍රී ලංකාවේ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ කැස්බෑවන් තදින්ම ආරක්ෂා කළ යුතු සතෙකු වන අතර, එම සතුන්ට හිංසා කිරීම හෝ සිරකර තබා ගැනීම බරපතළ වරදකි.


මෙම ස්ථානයේ මීට පෙරද විදේශීය සංචාරකයන්ට මෙලෙසම කැස්බෑවන් පෙන්වා මුදල් ලබාගත් පුද්ගලයන් දෙදෙනෙකු උණවටුන සංචාරක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.


උණවටුන සංචාරක පොලිසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා හබරාදූව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.

 

More News..