brand logo
logo
ලංකාවේ තියෙන්නේ ආදායම් දරිද්‍රතාවකටත් වඩා මානසික දරිද්‍රතාවක්

ලංකාවේ තියෙන්නේ ආදායම් දරිද්‍රතාවකටත් වඩා මානසික දරිද්‍රතාවක්

16 July 2026


2026 ජූලි 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම්ලාභී මට්ටමේ සිට ඉහළ මධ්‍යම ආදායම්ලාභී මට්ටමක රටක් දක්වා නිල වශයෙන් නැවැත වර්ගීකරණය කර ඇත. ඒ අනුව 2022 වසරේ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නද ලංකාව වසර තුනක් වැනි කාලයක් ඇතුළත කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් අත්කරගෙන ඇති බව කියැවෙයි. අභියෝග ජයගනිමින් නැවැත ඉහළ මැදි ආදායම් මාවතට පිවිසීම ලංකාවේ ආර්ථිකය ලැබූ විශාල ජයග්‍රහණයක් බව පිරිසක් කියති. එහෙත් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම්ලාභී රටක් ලෙස ප්‍රකාශයට පත්වීමත් සමග යම් යම් අවාසිදායක තත්ත්වයන්ද ඇතිවිය හැකි බව ඇතැම් ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් පේරදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ, ආර්ථික විද්‍යාඥ, මහාචාර්ය වසන්ත අතුකෝරළ සමග "අරුණ" සාකච්ඡාවයි මේ.


ශ්‍රී ලංකාවේ ආර්ථිකයට පහළ මධ්‍යම ආදායම්ලාභී මට්ටමේ සිට ඉහළ මධ්‍යම අදායම්ලාභී මට්ටම දක්වා උසස් වීමක් ලැබිලා කියලා අපිට පහුගිය දිනවල වාර්තා වුණා. මුලින්ම අපි මේ වර්ගීකරණය පිළිබඳව කතා කරමු?


ලෝක බැංකුව විසින් ලෝකයේ රටවල ආදායම් තත්ත්වය අනුව ඒ රටවල් යම් ආකාරයකට වර්ගීකරණය කරනු ලබනවා. ඒ වර්ගීකරණය තුළ පහළ ආදායම්ලාභී රටවල්, මැදි ආදායම්ලාභී රටවල් සහ ඉහළ ආදායම්ලාභී රටවල් ආදී වශයෙන් කොටස් තුනක් තියෙනවා. මෙහිදී මැදි ආදායම්ලාභී රටවල් පහළ ආදායම් ලබන සහ ඉහළ ආදායම් ලබන ලෙස නැවැත කොටස් දෙකකට බෙදෙනවා. ලෝකයේ සියලුම රටවල් ආදායම් අනුව වර්ගීකරණය කරන්නේ මෙන්න මේ මූලික කොටස් කිහිපය යටතේ තමයි.


කිසියම් රටක් පහළ ආදායම්ලාභී රටක් වීමට නම් ඒ රටේ ඒක පුද්ගල දළ ජාතික ආදායම කොපමණ ප්‍රමාණයක් විය යුතුද?


කිසියම් රටක් පහළ ආදායම් ලබන රටක්වීමට නම් 2025 වර්ගීකරණය අනුව ලෝක බැංකුව විසින් ගණනය කරනු ලබන ඒක පුද්ගල දළ ජාතික ආදායම 1175කට වඩා අඩු විය යුතුයි. මෙහිදී ලෝක බැංකුව විසින් අදාළ ගණනය කිරීම් කරන්නේ ඇට්ලස් කියන ක්‍රමවේදයට අනුවයි. අපි සාමාන්‍යයෙන් ඒක පුද්ගල ආදායම ගණනය කරනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපද ඩොලර්වලට සාපේක්ෂව වුණත් ලෝක බැංකුවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ගණනය කරනු ලබන්නේ ඇට්ලස් ක්‍රමවේදයට අනුවයි. එහිදී රටවල් අතර තිබෙන උද්ධමනකාරී වෙනස්කම්, විනිමය අනුපාතික වෙනස්කම් ආදී බොහෝ දේවල් සැලකිල්ලට ගන්නවා. ඒ ආකාරයට ගණනය කරනු ලබන ඒක පුද්ගල දළ ජාතික ආදායම 1175 ට අඩුයි නම් ඒ රට පහළ ආදායම් ලබන රටක් හැටියටයි පිළිගන්නේ. 1176 -4635 අතර නම් ඒ රට පහළ මැදි ආදායම් ලබන රටක් හැටියට පිළිගන්නවා. 4636 - 14375 අතර අගයක තියෙනවා නම් ඉහළ මැදි ආදායම්ලාභී රටක් හැටියටත් 14375වඩා වැඩියි නම් ඉහළ ආදායම්ලාභී ලබන රටක් හැටියටත් පිළිගන්නවා. ඒ අනුව දැන් ලංකාවේ ඉහළ මධ්‍යම ආදායම්ලාභී රටක් හැටියටයි නම් කරලා තියෙන්නේ.


ඔබ ඔය විස්තර කරන ආකාරයට මේ වන විට අපේ රටේ ඒක පුද්ගල දළ ජාතික ආදායම තියෙන්නේ ඩොලර් 4636 - 14375 වැනි අගයකද?


ඔව්. ඇත්තටම අපේ රට තුළ ගණනය කරනු ලබන ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය 2025 වර්ෂයේදී ඩොලර් 5003 හැටියටයි වාර්තා වුණේ. 2020 වර්ෂයේදී පමණ මේ අගය තිබුණේ 3850 වැනි අගයකයි. 2021 වර්ෂයේදී එය 3999ක අගයක් ගත්තා. 2023 අවුරුද්ද වන විට මේ අගය 3818 හා 2024 අවුරුද්දේ 4546 අගයක් ගන්නවා. 2025 අවුරුද්දේ ඩොලර් 5003 හැටියටයි ඒ අගය සඳහන් වෙලා තිබුණේ. ලංකාව ගණනය කරනු ලබන්නේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය වුණාට ලෝක බැංකුව විසින් ගණනය කරනු ලබන්නේ ඒක පුද්ගල දළ ජාතික ආදායමයි. ඒ අනුව ලෝක බැංකුව විසින් ගණනය කරනු ලබන ඒක පුද්ගල දළ ජාතික ආදායම 2020 වර්ෂයේදී ඩොලර් 3880යි. 2021 ඒ අගය 4010 යි. එම අගය 2022 දී 3620 දක්වා අඩුවීමක් වෙලා තියෙනවා. 2024 වෙද්දි 3870යි. 2025 දී 4670ක අගයක් වාර්තා වෙලා තියෙනවා. ලෝක බැංකු ගණනය කිරීම් අනුව 4636ට හෝ ඊට වඩා වැඩියි නම් ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වෙනවා. ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් හැටියට හඳුනාගන්නේ මෙන්න මේ නිසයි.


ලංකාව ඉහළ මැදි ආදායම්ලාභී රටක් හැටියට ප්‍රකාශ වුණා කියන්නේ අපේ රටේ ආර්ථිකය සැලකිය යුතු මට්ටමකින් යථාවත් වෙලා තියෙනවා කියන එකනේ. ඒ විදිහට ඉහළ මැදි ආදායම්ලාභී රටක් වීමෙන් ලංකාවට ලැබෙන වාසි මොනවාද?


කලාපයේ රටවල් පිළිබඳ සලකා බලන විට විශේෂයෙන්ම, දකුණු ආසියාතික කලාපයේ මාලදිවයින හැර අනෙකුත් සියලුම රටවලට වඩා අපේ රටේ ඒක පුද්ගල දළ ජාතික ආදායම වැඩියි. තවත් විදිහකට කියනවානම් දකුණු ආසියාතික කලාපය තුළ ඒක පුද්ගල දළ ජාතික ආදායම වැඩිම රට (මාලදිවයින හැරුණු විට) ලංකාවයි. පසුගිය වසර දෙකක් වැනි කාලය තුළ සැලකිය යුතු මට්ටමකින් ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය ආදායමේ වර්ධනයක් වී ඇති බව එයින් පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම 2024 - 25 වර්ෂය තුළ පමණක් ඩොලර් 800 කින් පමණ ඒක පුද්ගල දළ දේශීය ආදායම වැඩිවෙලා. මෙවැනි දේවල් වන විට "ලෝකයේ අනෙකුත් රටවල් සමග සංසන්දනය කරද්දී ලංකාව කියන්නේ වේගයෙන් වර්ධනය වන රටක්. හොඳ ස්ථාවරත්වයක් තිබෙන රටක්" වැනි අදහස් ලෝකයේ ඉන්න ව්‍යාපාරිකයන්ට මෙන්ම අනෙකුත් ප්‍රජාවටත් දැනෙන්න පටන් ගන්නවා. එහෙම නම් අනාගතයේදී තව තවත් ආයෝජන වර්ධනය වීමට මෙන්ම ආයෝජකයන් ලංකාව කෙරෙහි ආකර්ෂණය වීමටත් දැන් මේ රටේ ඇතිවෙලා තියෙන තත්ත්වය ඍජුව බලපාන්න පුළුවන්.


ඒ වගේම රටක් විදිහට ලංකාව වෙනත් රටවල් හා වෙනත් සංවිධාන මත යැපීමක් නැති ස්ව ශක්තියෙන් නැගී සිටින රාජ්‍යක් හැටියට ලෝකය තුළ පිළිගැනීමක් සහ විශ්වාසයක් ඇතිවෙන්නත් ලංකාව මධ්‍යම ආදායම්ලාභී රටක් හැටියට ප්‍රකාශයට පත්කිරීම වැදගත්.


ලංකාව මධ්‍යම ආදායම්ලාභී රටක් හැටියට ප්‍රකාශ කිරීම ලංකාවට අවාසියක් කියලත් සමහරු කියනවනේ?


ලංකාව අඩු ආදායම්ලාභී හෝ පහළ මැදි ආදායම්ලාභී රටක් හැටියට තිබුණොත් අපිට විදේශ රටවලින්, සමාගම්වලින් සහ ආයතනවලින් ලැබෙන ආධාර ප්‍රමාණයේ යම් වැඩිවීමක් වෙන්න පුළුවන්. ඒ වගේම සහන ණය ලැබෙන්නත් ඉඩ තියෙනවා. ලංකාව මධ්‍යම ආදායම්ලාභී රටක් හැටියට ප්‍රකාශ කළාට පසුව ඒ ලැබෙන සහනාධාර සහ ණය ගිලිහී යන්න ඉඩ තියෙනවා කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඒත් අපි නිතරම බලාපොරොත්තු විය යුත්තේ අන් අය මත යැපෙමින් ඉදිරියට යාම නොවෙයි. ස්ව ශක්තියෙන් නැගීසිටිමින් ඉදිරියට යාමයි අපේ උත්සාහය විය යුත්තේ. තව කෙනකුගේ ආධාර අරගෙන ලෝකයට යටත් වී සිටින දුප්පත් රාජ්‍යයක් වීමේ අවශ්‍යතාවක් ලංකාවට කිසිසේත්ම නැහැ. ඒ නිසා "ලංකාව මධ්‍යම ආදායම්ලාභී රටක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අසාධාරණයි. ඒ නිසා අපේ රටට බොහෝ දේවල් නොලැබී යනවා." ආදී වශයෙන් විවිධ පුද්ගලයන් විවිධ තර්ක ගෙන ආවත් තවත් පාර්ශ්වයකගේ ආධාර, උදව් උපකාර ගන්නා තරමටම ලංකාව තවමත් දුප්පත්ව සිටිය යුතු නැහැ කියන එකයි මගේ අදහස. දැන්වත් අපි ලංකාව ක්‍රම ක්‍රමයෙන් ලෝකයේ උසස් රාජ්‍යයක් බවට පත්කළ යුතුයි. ඒ සඳහා ලංකාව මධ්‍යම ආදායම්ලාභී රටක් හැටියට ප්‍රකාශ කිරීම ඉතාමත් වාසිදායකයි.


ඉහළ මධ්‍යම ආදායම්ලාභී මට්ටමේ රටක් හැටියට ප්‍රකාශ කළාට ඇත්තටම ලංකාව තවමත් තියෙන්නේ ඉහළ මධ්‍යම ආදායම්ලාභී මට්ටමේ පහළ අදියරකයි නේද?


ඔව්. ඉහළ මැදි ආදායම් මට්ටමේ පහළ අදියරකයි ලංකාව තවම තියෙන්නේ. ඒත් ක්‍රම ක්‍රමයෙන් අපි අපේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහා දිගින් දිගටම අවශ්‍ය නඩත්තු කටයුතු කිරීම වැදගත්. අතීතය දෙස බලන විට ලංකාව 1996 වර්ෂය දක්වාම තිබුණේ පහළ ආදායම්ලාභී රටක් හැටියටයි. ඉන්පසුව 1997 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා ලංකාව පහළ මැදි ආදායම් ලබන රටක් හැටියට හිටියා. 2018 වර්ෂයේදී ලංකාව ඉහළ මැදි ආදායම්ලාභී රටක් වුණා.


නමුත් 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාලය සලකා බැලුවොත් නැවැතත් ලංකාව පහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වුණා. තවත් විදිහකට කියනවා නම් 2018 වර්ෂයේ ඉහළ මැදි ආදායම්ලාභී රටක් බවට ලංකාව පත්වුණත් ඒ තත්ත්වය නඩත්තු කරමින් ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන් වෙලා නැහැ. 2019 අවුරුද්දේ නැවැතත් ලංකාව පහළ මැදි ආදායම්ලාභී රටක් වුණේ ඒකනේ. ඒ නිසා 2025 වර්ෂයේදී ආර්ථික වශයෙන් ලංකාව මේ ළඟා කරගත් ජයග්‍රහණය දිගින් දිගටම නඩත්තු කරමින් පවත්වාගෙන යා යුතුයි කියලා මම යෝජනා කරනවා. ඒ සඳහා සාමාන්‍යයෙන් සියයට පහට වඩා වැඩි ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යාමත් වැදගත්. ඒ වගේම ඉදිරි වසර කිහිපය තුළ සියයට අටක් දහයක් වගේ ප්‍රමාණයක ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීමට හැකියාව ලැබුණොත් ඉහළ මධ්‍යම ආර්ථිකලාභී රටවල් අතර ඉහළින්ම ලංකාව ඔසවා තැබීමේ හැකියාව තියෙනවා.


කවුරු මොන විදිහට රටේ ආර්ථිකය සම්බන්ධයෙන් නිර්ණායක ඉදිරිපත් කළත් තවමත් අපේ රටේ ජනතාවගේ දුප්පත්කම අඩු වෙලා නැහැ කියලත් චෝදනාවක් තියෙනවා.. ඔබ ඒ චෝදනාව දකින්නේ කොහොමද?


ආර්ථික විද්‍යාඥයෙක් හැටියට මට නම් හිතෙන්නේ ලංකාවේ වැඩිපුරම තියෙන්නේ ආදායම් දරිද්‍රතාවකටත් වඩා මානසික දරිද්‍රතාවක්. අපේ රටේ බොහෝ දෙනෙක් බඩගින්නේ ඉන්නවා කියන මානසික මිථ්‍යාවකයි ඉන්නේ. ඇත්තටම ලංකාවේ ගම සහ නගරය අතර වෙසෙන ජනතාවගේ ආදායම් වියදම් ව්‍යාප්තියේ විශාල විෂමතාවක් තිබෙන බව අපි පිළිගන්නවා. නාගරික ප්‍රජාව තුළ වුණත් ආදායම් ව්‍යාප්ති විෂමතා තියෙනවා. අපි ඒක නෑ කියන්නේ නැහැ. නමුත් ගම්වල සිටින පහළ ආදායම්ලාභී ජනතාවගේ වියදම නාගරික ජනතාවගේ වියදමට සාපේක්ෂව අඩු මට්ටමකයි තියෙන්නේ. ග්‍රාමීය ජනතාවට යම් යම් දේවල් ග්‍රාමීයව උපයා සපයා ගන්න පුළුවන්කම තිබෙනවා. ඇත්තටම ග්‍රාමීය මිනිස්සුන්ගේ ආදායම අඩු වුණාට ඔවුන් තුළ සමාජ ප්‍රාග්ධනයක් තියෙනවා. එහෙම බැලුවම ග්‍රාමීය සහ නාගරික ජනතාවගේ ආර්ථික තත්ත්වය අතර ලොකු වෙනසක් නැහැ. ඒ නිසා අපේ රටේ ජනතාවගෙන් බහුතරයක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා වැනි ප්‍රකාශ ඉදිරිපත් වුණාට ඒ ප්‍රකාශ සියල්ලම සම්පූර්ණයෙන්ම සත්‍යයි කියලා මම හිතන්නේ නෑ.


එහෙම කියන්නේ ඇයි?.


දරිද්‍රතාව පිළිබඳව කෙරෙන ඇතැම් සමීක්ෂණ සඳහා ජනගහනයෙන් ඉතාම සුළු පිරිසක් පමණයි සම්බන්ධ කරගන්නේ. සුළු පිරිසක් පමණක් සම්බන්ධ කරගෙන කරන සමීක්ෂණ සමස්ත ජනතාවට අදාළ කිරීම අපහසුයි. දරිද්‍රතාවයෙන් පෙළෙනවා කියන පවුල්වල සාමාජිකයන් පිරිසක් සමග අපි මෑතක සාකච්ඡා මාලාවක් කළා. මාසයකට ඔවුන්ගේ ඉන්ටර්නෙට් බිල පමණක් රුපියල් දෙතුන් දාහක් වෙනවා කියලා ඒ සාකච්ඡා වලින් තහවුරු වුණා. මාසෙකට රුපියල් දෙතුන් දාහක ඉන්ටර්නෙට් බිලක් එනවා නම් මේ අය ඇත්තටම දරිද්‍රද කියන ප්‍රශ්නය ඇතිවෙනවනේ. අද බොහෝවිට වෙලා තියෙන්නේ සහන ගැනීම සඳහා දරිද්‍රතාව පෙන්වීමයි. ඒ වගේම හැම දෙයක්ම රජයෙන් දිය යුතුයි කියන මානසික දරිද්‍රතාවෙනුත් පිරිසක් පෙලෙනවා. ඒ වුණත් ඇත්තටම ලංකාවේ දරිද්‍රතාව තියෙන්නේ ඉතාමත් පහළ මට්ටමක කියලයි මට හිතෙන්නේ. නමුත් අවාසනාවකට මෙවැනි කාරණා නිවැරැදි ආකාරයකට ගණනය කරලා ඒ නිවැරැදි දත්ත වාර්ෂිකව හෝ අවුරුදු කිහිපයකට වතාවක් හෝ එළිදැක්වීමක් කරන්නේ නෑ. ඒ නිසා ඇත්තටම සත්‍ය තත්ත්වය මොන වගේ මට්ටමකද තියෙන්නේ කියලා හොයාගන්න එක අපහසුයි.


රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජයේ දායකත්වය ඔබ දකින්නේ කොහොමද?


සාර්ව ආර්ථික ස්ථායිකරණයක් ඇතිකිරීම සඳහා රජය විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒක වැදගත්. නමුත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සාර්ව ආර්ථික ස්ථායිකරණය පමණක් ප්‍රමාණවත් නැහැ. රටක් විදිහට ඉදිරියට යාමට නම් මේ රටේ ශ්‍රම බළකායෙන් ප්‍රයෝජන ගත යුතුව තියෙනවා. මේ වන විට ඵලදායි නොවන ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වනවා මිස ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වන බවක් පේන්නෙත් නැහැ. මේ වන විට ලංකාවේ බොහෝ තැන්වල ස්පා පිහිටලා තියෙනවා අපි දකිනවා. මේවා ඉතාමත් අඩු ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් හැටියටයි අපි දකින්නේ. නමුත් රටක් තුළ ආර්ථිකය ශක්තිමත් කිරීමට අලුත් දේ සොයාගත යුතුයි. අලුත් නිෂ්පාදන බිහි විය යුතුයි. ගමේ නිෂ්පාදන පවා ලෝක වෙළෙඳපොළට එකතු කළ යුතුයි. ඒ කෙරෙහි රජයේ අවධානය යොමු වෙලා තියෙන්නේ ඉතාමත් අඩුවෙන්. අපේ ශ්‍රම බළකායෙන් ඵලදායී ලෙස වැඩ ගැනීම කෙරෙහි රජයේ අවධානය තවමත් යොමු වෙලා නැහැ. අනෙක් පැත්තෙන් රාජ්‍ය යාන්ත්‍රණය තුළ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහාත් රජය අවධානය යොමු කළ යුතුයි. අනෙක ගමේ ආර්ථිකය සක්‍රීය නොකර රටේ ආර්ථිකය සක්‍රීය කරන්නත් බැහැ. සංචාරක ව්‍යාපාරය, විදේශ ඍජු ආයෝජන රටක ආර්ථිකයට වැදගත්. නමුත් මේ අංශ තුළ කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්න විසඳමින් මේ ආර්ථිකය සක්‍රීය කිරීම සඳහා රජය ක්‍රියා කළොත් ආර්ථික වශයෙන් යම් ආකාරයක වර්ධනයකට යන්න අපට පුළුවන් වෙයි.

 

More News..