brand logo
logo
දේශගුණික විපර්යාස හමුවේ ඉදිරියේ දී ආපදා සහන කටයුතු අවදානමක

දේශගුණික විපර්යාස හමුවේ ඉදිරියේ දී ආපදා සහන කටයුතු අවදානමක

11 July 2026

ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් ඇති වී තිබෙන දේශගුණික විපර්යාස නිසා ඉදිරියේදී මෙරට තුළ ආපදා රැසක් ඇති වීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසයි.


රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.


මෑතකදී බලපෑ 'දිට්වා' සුළි කුණාටුව වැනි ආපදා තත්ත්වයන් සමඟ සසඳන කළ යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා ක්‍රියාත්මක වීමට තම ආයතනයේ සිටින සේවකයින්ගේ ධාරිතාවය ප්‍රමාණවත් නොවන බව ද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.


එමෙන්ම රටේ ඕනෑම අයෙකුට ආපදාවක් දැනුම් දිය හැකි පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට රාත්‍රී රාජකාරි සඳහා නිසි නවාතැන් පහසුකම් පවා නොමැති බව ද ඒ මහතා සඳහන් කළේය.


දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වන ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක සවස 4.30න් පසු වසා දැමෙන බැවින්, රාත්‍රී කාලයේදී ආපදාවක් සිදුවුවහොත් දුර බැහැර සිටින නිලධාරීන් කැඳවා එම ස්ථානයට යන විට විශාල කාලයක් ගතවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.


දැනට පවතින සේවක හිඟයට පිළියමක් ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) එකිනෙක ඒකාබද්ධ කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇති නමුත්, එම ක්‍රියාවලිය සඳහා සැලකිය යුතු කාලයක් ගතවන බැවින් ඒ අතරතුර තවත් සුළි කුණාටුවක් පැමිණියහොත් දැඩි අපහසුතාවයකට පත්වන බව ද හෙතෙම අවධාරණය කළේය.

ලෝකයේ අනෙක් රටවල් තාක්ෂණය හා සම්පත් යොදවමින් ආපදා කළමනාකරණය ශක්තිමත් කරන විට ලංකාවේ එම ක්‍රියාවලිය ඉතා මන්දගාමීව සිදුවන බව පැවසූ ඒ මහතා, රට හමුවේ ඇති බරපතලම අනතුරක් පිළිබඳවද අනාවරණයක් කළේය.

ඒ අනුව, අන්දමන් දූපත් ආශ්‍රිතව සුනාමියක් ඇති වුවහොත් මිනිත්තු 40ක් වැනි කෙටි කාලයකින් රළ පහර ලංකාවට ළඟා වන බවත්, එම කාලය තුළ වෙරළබඩ ජනතාව මිලියන 3.8ක් ඉවත් කිරීම අතිශය දුෂ්කර මෙහෙයුමක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

දැනට මෙරට පවතින සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු ක්‍රියා විරහිත වී ඇති බැවින් ඒවා පිළිසකර කිරීමට මේ වන විට යෝජනා කර ඇති බවත් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා,

''විශේෂයෙන්ම ග්ලෝබල් වෝමින් නිසා ක්ලයිමේට් චේන්ජ් එක ඇතිවෙලා තියෙන්නේ. ඒ නිසා මේ විදිහේ දිට්වා වගේ ආපදා විශාල ප්‍රමාණයක් එන්න පුළුවන්. දිට්වා ආපදා වෙන වෙලාවෙත් අපිට 188ක් වේකන්සි තිබ්බා ආයතනයේ.. ඉතාම අඩු ස්ටාෆ් එකකින් අඩු ප්‍රමාණයකින් තමයි Disaster Management කියන ආයතනය දුවන්නේ. මමත් මේක භාර ගත්තේ ලඟදි. ඇත්තටම දිට්වා සුළි කුණාටුවත් එක්ක කම්පෙයාර් කරනකොට දිට්වා සුළි කුණාටුව අලියෙක් නම්, මැනේජ්මන්ට් එක පොල්කට්ටක් වගේ පොඩි ආයතනයක්. ඒකෙන් අර අලියෙක් වහන්න සිද්ධ වුණා වගේ තමයි අපිට ක්‍රියාත්මක වෙන්න වුණේ...

''ඊළඟට අපේ තියෙනවා එකක් පැය 24ම වැඩකරන ටෙලිෆෝන් පද්ධතියක්. ඒකේ රටේ ඕනෑම කෙනෙකුට 117 දුරකතනයට කතා කරලා Disaster එකක් දැනුම් දෙන්න පුළුවන්. ඒ දැනුම් දෙන කොට ඒකට අනුව අපි ඒක Emergency Operation එකට දීලා මුළු ලංකාවම කෝඩිනේට් කරනවා. ඒ Emergency Operations Center එකේ අපේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අපේ Disaster Management කණ්ඩායමක් ඉන්නවා. නමුත් මේ කට්ටියට නයිට් ඩියුටි කරනවා නවතින්න තැනක්වත් නැහැ. ඔෆිස් එකේ තැන් තැන්වල නිදාගෙන ඉඳලා තමයි ඒගොල්ලෝ පැය 24ම වැඩ කරන්නේ. 

ඊළඟට දිස්ත්‍රික්කවල තියෙනවා District Disaster Management Coordination Unit කියලා එකක්. ඒකේ ඉන්නේ ක්ලාක්ලා පස් දෙනයි, ඩිපියුටි ඩිරෙක්ටර්, ඩ්‍රයිවරුයි, පියන් කෙනෙකුයි විතරයි. හැබැයි ඒගොල්ලෝ 4.30 පස්සේ ගෙදර යනවා. 4.30 පස්සේ Disaster එකක් වෙනකොට ඩිරෙක්ටර් ගෙදර ගිහිල්ලා දිස්ත්‍රික්කයෙන් ගොඩාක් ඈත ඉන්නේ.. එයාව එතනට ගෙන්නන්න සෑහෙන්න වෙලාවක් යනවා. එතකොට එයාට කෝල් කරපුවහම එයා කියනවා ඉස්සෙල්ලා කියන්න ඕනේ ඩ්‍රයිවර්ට ඔෆිස් එකට යන්න කියලා. ගිහිල්ලා වාහනේ අරගෙන මගේ ගෙදරට එන්න කියන්න ඕනේ. ඊට පස්සේ එයා යන්න ඕනේ ඇක්ෂන් ගන්න...

මේ ළඟදී National Disaster Management Council එක තිබ්බා. අපේ තව තියෙනවා ආයතනයක් National Disaster Relief Service Center කියලා. NDRSC කියලා.. මේකයි DMC එකයි මර්ජ් කරනවා. එතකොට ඒකේ ස්ටාෆ් එකත් අපට එකතු කරගෙන ඊට පස්සේ අඩුවක් වුණොත් බඳවා ගැනීමට කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමා ඒ කවුන්සිල් එකේ දී උපදෙස් දුන්නා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී ඒ ප්‍රශ්නේ විසඳෙයි කියලා. හැබැයි මේ ක්‍රමවේදය අනුව මේවට ගොඩක් කාලයක් යනවා. නමුත් ඒ අතරතුර දිට්වා වගේ තව සුළි කුණාටුවක් ආවොත් ඇත්තටම අපි දැඩි අපහසුතාවයකට පත්වෙනවා.. 

තව එක කාරණයක් කියන්න තියෙනවා. ඒක ඉතාම වැදගත් මේ සභාව දැනුවත් කරන එක. දැන් අපේ ලංකාවට සුනාමි ඇති වෙනකොට අන්දමන් දූපත්වල සුනාමි ඇති වුණොත් විනාඩි හතළිහකින් අපට දැනුම් දීලා විනාඩි හතළිහකින් රළ පහර ලංකාවට එනවා. එතකොට වෙරළාසන්නයේ ඉන්න මිලියන 3.8ක මිනිස්සු අපි විනාඩි 40කින් ඉවත්කරන්න ඕනේ. ඒක පහසු දෙයක් නෙමේ.. සුනාමි ටවර්සුත් වැඩ කරන්නේ නැහැ...''


 

More News..