සයිබර් අපරාධ මැඩපැවැත්වීමට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගිවිසුමක්
27 November 2026
සයිබර් අපරාධ මැඩපැවැත්වීමට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගිවිසුමක්
27 November 2026
සයිබර් අපරාධ ඇතුළු අපරාධ මැඩපැවැත්වීම වෙනුවෙන් අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ මෙරට සංචාරයක නිරත රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සන් මහතා අතර ඊයේ (26) පස්වරුවේ කොළඹදී පැවති හමුවකදී මෙම ගිවිසුමට අත්සන් තැබිණි.
දූෂණය, සයිබර් අපරාධ සහ සෙසු අපරාධ මැඩපැවැත්වීමේ ක්‍රියාවලිය ඉලක්ක කර ගනිමින් මෙම අවබෝධතා ගිවිසුම ඇති කර ගෙන ඇත.
මෙම හමුවේදී දෙරට අතර නීතිමය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම ඇතුළු නීතිමය වශයෙන් වැදගත් කරුණු මෙන්ම ද්විපාර්ශ්වික සුහදත්වය වර්ධනය කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු විය.
දූෂණය, සයිබර් අපරාධ සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම දෙරටටම පොදු වූ ප්‍රධාන අභියෝගයක් බැවින්, ඒ වෙනුවෙන් ඒකාබද්ධව කටයුතු කළ යුතු බව රුසියානු ප්‍රධාන අභිචෝදක ජනරාල්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
නවීන තාක්ෂණය ඔස්සේ සිදුවන සයිබර් අපරාධ, දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම ඇතුළු නීති විරෝධී ක්‍රියා මර්දනය සඳහා නවීන තාක්ෂණික සහාය ලබාදීම පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා සිය ස්තූතිය පළ කළේය.
නවීන තාක්ෂණය භාවිතයෙන් සිදු කෙරෙන සයිබර් අපරාධ, දූෂණ, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදය සහ ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම උදෙසා තොරතුරු හුවමාරු කර ගැනීම සහ තාක්ෂණික පුහුණුව ලබාදීම රුසියානු නියෝජිතයාගේ මෙම සංචාරයේ මූලික අරමුණක් බව ද වාර්තා වේ.
මෙම අවස්ථාවට සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ රුසියානු සමූහාණ්ඩුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.


